ඉරාන නෞකාවේ තිබී සොයාගත් සිරුරු සංඛ්‍යාව 84ක්

ඉරාන නෞකාවේ තිබී සොයාගත් සිරුරු සංඛ්‍යාව 84ක් දක්වා ඉහළට..

by Staff writer 05-03-2026 | 9:41 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මුහුදේ දී අනතුරට ලක්වූ ඉරාන යුද නෞකාවේ තිබී සොයාගත් සිරුරු සංඛ්‍යාව 84 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන්ගේ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවේ ය.

අදාල නෞකාව ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී ඊයේ (04) අනතුරට පත් වුණි.

ජාත්‍යන්තර නාවුක ගමනා ගමන සම්මුති අනුව නෞකාව ඒ වනවිට පැවති මුහුදු ප්‍රදේශයේ අනතුරකදී මුදා ගැනීමේ සහ සෝදිසි සිදුකිරීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකාවටය.

නෞකාව ගිලෙමින් පවතින බවට ඊයේ උදෑසන 5.08 පමණ ශ්‍රී ලංකා නාවික හමුදාවට වර්තා වීම මත අදාල සෝදිසි කිරීම් සිදු කර ඇත.

ඒ ගුවන් හමුදාවේද සහාය ඇතිවය.

නෞකාවේ පුද්ගලයින් 180 දෙනෙකු සිට ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය.

අයිරිස් ඩේනා නම් අදාළ නෞකාවේ සිටි 32 දෙදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාවට හැකියාව ලැබුණි.

මේ අතර ජාත්‍යන්තර මුහුදේදී ටෝපිඩෝ ප්‍රහාරයකින් ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවකට ප්‍රහාරයක් එල්ල කළේ අමෙරිකාව බව එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කරන ලදි.