.webp)

පොලීසිය පැවසුවේ, ඒ අනුව සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ආරක්ෂාව සලසා ඇති බවයි.
මේ අතර මැද පෙරදිග කලාපයේ අයහපත් තත්ත්වය හේතුවෙන් මහජනතාව ඉන්ධන අනිසි ලෙස ගබඩා කර ගනිමින් සිටින බවට නිරීක්ෂණය වී ඇතැයි පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, දිවයින තුළ අවශ්‍ය ප්‍රමාණයට තෙල් සංචිතයක් පවතින බැවින් මහජනතාවට ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසට ඛනිජ තෙල් සංස්ථාව මඟින් දැනුම් දී ඇති බවයි.
ඇතැම් පාර්ශ්වයන් විසින් සංවිධානාත්මකව ගැලුම් මගින් ඉන්ධන රැස් කිරීම සිදු කරන බවත් එවැනි ක්‍රියා වැළැක්වීම සඳහා නැවත දැනුම් දෙන තුරු ධීවර යාත්‍රා, කර්මාන්ත ශාලා, වැඩබිම්, කෘෂිකාර්මික කටයුතු සඳහා සහ ගෘහ කටයුතු සඳහා හැර ගැලුම්, බෝතල් හෝ වෙනත් දෑ සඳහා ඉන්ධන නිකුත් නොකිරීමට ඉන්ධනහල් කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවත් පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ, අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කර ගබඩා කර තබා ගනිමින් වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ ජාවාරම්වල නිරතවන සහ ඉන්ධන සම්බන්ධව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පල කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබඳව සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බවයි.
