ශ්‍රී ලංකා ආයතනික නීතිඥ සංගමයේ නව සභාපති

ශ්‍රී ලංකා ආයතනික නීතිඥ සංගමයේ නව සභාපති ලෙස කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ නීතිඥ සුරංග ජයලත් පත්වෙයි..

by Staff writer 27-02-2026 | 10:28 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ආයතනික නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස කැපිටල් මහරාජා සමූහයේ, සමූහ අධ්‍යක්ෂ නීතිඥ සුරංග ජයලත් පත්ව තිබේ.

ශ්‍රී ලංකා ආයතනික නීතිඥ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම අද පස්වරුවේ කොළඹ දී පැවති අතර 2026/2027 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම එහිදී සිදු විය.

නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ  සුරංග ජයලත් කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වන අතර , ලන්ඩන් ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයේ (LCIA) ආසියා-පැසිෆික් පරිශීලක කවුන්සිලයේ සාමාජිකයෙකු ද වෙයි.

හැටන් නැෂනල් බැංකුවේ (HNB) විධායක උප සභාපති (නීති) සහ ප්‍රධාන නීති නිලධාරිනී ලෙස කටයුතු කරන මෙලඩි එස්. වික්‍රමනායක  සහ කොළඹ විශ්වවිද්‍යාලයේ රංගිකා කොණ්ඩරාමගේ උප සභාපතිවරුන් ලෙස යළි තේරී පත් විය.

ලයන් බෲවරි (Lion Brewery) ආයතනයේ රුවන්දි තන්තිරිගේ ලේකම් ලෙසත්, රේණුකා ඇග්‍රෝ සමූහයේ (Renuka Agro Group) අසිත පීරිස් මහතා සහකාර ලේකම් ලෙසත් තේරී පත්ව තිබේ.

ජූලියස් ඇන්ඩ් ක්‍රීසි (Julius and Creasy) ආයතනයේ හවුල්කාරිනියක වන රාජිකා ලුවී භාණ්ඩාගාරික ලෙස තේරී පත් වූ අතර ඇන්සල් සමූහයේ (Ansell Group) විවේකා ඇන්තනි ශ්‍රී ලංකා ආයතනික නීතිඥ සංගමයේ සහකාර භාණ්ඩාගාරික ලෙස පත් විය.