.webp)
-610944.jpg)
COLOMBO (News 1st) - මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා තිබූ නඩුවෙන් යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් නිදහස් කරන බව කොළඹ මහාධිකරණය අද නියෝග කළේ ය.
ඒ, මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග හමුවේ නඩුව අද කැඳවු අවස්ථාවේදීයි.
ඩේසී ෆොරස්ට්ට නඩු කටයුත්තට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් තිබෙනවාද යන්න කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ ය.
අදාල අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කියා සිටියේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් විත්තිකාරිය හට නඩු කටයුත්තකට සහභාගිවීමට සුදුසු මානසික තත්ත්වයක් නැති බවට වෛද්‍ය නිර්දේශ නිකුත් කර ඇති බවය.
ඒ අනුව දෙවන විත්තිකාරිය වන ඩේසී ෆොරස්ට්ට එරෙහිව නඩුවේ තිබෙන 1 සහ 3 අධි චෝදනා වලින් විත්තිකාරිය නිදහස් කරන බව ජනක බණ්ඩාර අධිකරණයට දන්වා සිටියේ ය.
ඒ අනුව නඩුවේ පළමු විත්තිකරු වන යෝෂිත රාජපක්ෂ හට සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනු කරමින් ඔහුට එරෙහිව පමණක් නඩුව පවරා පවත්වාගෙන යෑමට කටයුතු කරන බවද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දෙන ලදි.
කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඩේසි ෆොරස්ට්ට එරෙහිව තිබූ අධි චෝදනාවන්ගෙන් ඇය නිදහස් කළේ ය.
රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.
