අකුරේගොඩ ඝාතන වෙඩික්කරු ගැන තොරතුරු රැසක් එළියට

අකුරේගොඩ ඝාතනය සිද්ධිය‍ෙ වෙඩික්කරු කරන්දෙණිය සුද්දා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීප හිතවතෙක් - පොලීසිය

by Staff writer 22-02-2026 | 5:58 PM

COLOMBO (News 1st) - අකුරේගොඩ ඝාතනය සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරු කරන්දෙණිය සුද්දා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීප හිතවතෙකු බව පොලීසිය පවසයි.

විමර්ශන නිලධාරීන් අනාවරණ කළේ, සැකකරු මංකාල්ලකෑමේ සිද්ධියකට මීට පෙර සිරගත කර සිටි අයෙකු බවයි.

විමර්ශණ නිලධාරීන් පවසන පරිදි, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු ඇප මත නිදහස් කරගෙන ඇත්තේ, කරන්දෙණියේ සුද්දා විසින් ය.

සැකකාර වෙඩික්කරු ඝාතන සිද්ධියට පෙර පන්නිපිටිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවට අනාවරණ වී තිබේ.

T56 ගිනි අවියෙන් නීතිඥවරයා දෙසට වෙඩි තැබීම සිදුකර ඇත්තේ මෙම සැකකරු විසින් බවට මේවන විට හඳුනාගෙන ඇතැයි සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු, 46 හැවිරිදි බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු හිටපු යුධ හමුදා සෙබලෙකු වන අතර 2009 වසරේ ලබාදුන් පොදු සමා කාලය තුළ ඔහු නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වී ඇති බවත් විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

අකුරේගොඩදී නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ බිරිඳ ඝාතනයට පැමිණි සැකකාර වෙඩික්කරු ඊයේ(21) සවස අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ය.

එහිදී අපරාධය සදහා භාවිත කළ ජංගම දුරකථනයක්ද සිය භාරයට ගත් බවත් පොලීසිය පවසයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කරමින් පවතින බව ද, පොලීසිය සඳහන් කළේ ය.

ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොල්ගස්ඕවිට ඩිලා නැමැත්තා ද ඒ අතර වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර වෙඩි තැබීමට පැමිණි මෝටර් රථයේ රියැදුරු විදෙස්ගත වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනෙක් සැකකරු වෙඩි තැබීමට පෙර මොරකැටියේ හෝටලයක රැදී සිට ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

තලංගම, අකුරේගොඩදී පසුගිය 13 වැනිදා පස්වරුවේ නීතීඥ බුද්ධික මල්ලවාරච්චි හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කෙරුණි.