පොහොට්ටුවේ හලාවත මන්ත්‍රීට ලැබුණු දඬුවම...

හොර ඔප්පු හදලා, ඉඩම් විකුණපු පොහොට්ටුවේ හලාවත මන්ත්‍රීට ලැබුණු දඬුවම...

by Staff writer 18-02-2026 | 10:47 PM

COLOMBO (News 1st) - ව්‍යාජ ඔප්පු සැකසීමේ සිද්ධියක වරදකරුවන් වූ දෙදෙනෙකුට වසර 16 බැගින් සිරදඬුවම් නියම කෙරිණි.

එක් අයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.

සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගැනුණේ, හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ හමුවේයි.

2011 වසරේ ජුනි මස 07 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදුකර තිබිණි.

ඒ, පැමිණිලිකරුට අයත් වයික්කාල ප්‍රදේශයේ අක්කර 03 යි රූඩ් 02 ක් හා පර්චස් 34 ක ඉඩම් කොටස් දෙකක් ව්‍යාජ ඔප්පු 26 ක් සකස් කර අලෙවි කිරීම සම්බන්ධයෙනි.

අද සිරදඬුවම් නියම වූයේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්ද සහ මහවැව ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකි.

ඔවුන්ට සිරදඬුවම් අමතරව රුපියල් 80,000 බැගින් දඩ ගෙවන ලෙසද නියෝග කෙරිණි.

ඊට අමතරව ඔවුන්  පැමිණිලිකරු වෙත රුපියල් ලක්ෂ 08 බැගින් වන්දි මුදලක් ද ගෙවිය යුතුයි.

වන්දි ගෙවීමට අපොහොසත් වන්නේ නම් තවත් මාස 12 ක අමතර සිරදඩුවම් නියම කරන බව මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ ය.