IMF අධ්‍යක්ෂකවරිය ජනපති අනුර හමුවෙයි

IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි

by Staff writer 17-02-2026 | 6:37 PM

COLOLMO(News1st) - තුන්දින නිල සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂක, ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අද(17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබේ.

ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය උදා කර ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් සහයෝගයට එහිදී ජනාධිපතිවරයා ස්තූතිය පළ කර තිබේ.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, ‘දිට්වා’ ලෙස හඳුන්වන විශාල ආපදා තත්ත්වයකට සාර්ථකව මුහුණ දීමට හැකි වූයේ ද ආර්ථික ස්ථාවරත්වය නිසා බවයි.

එම අභියෝගය හමුවේ දේශපාලනය හා ආර්ථිකය එකිනෙකට පටලවා නොගෙන කටයුතු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා, උදාකරගත් ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත ගලා යාම රජයේ ඊළඟ අරමුණ බව ද සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ , ආපදා තත්ත්වය හමුවේ වැඩිම පීඩාවට පත් වූයේ ග්‍රාමීය අඩු ආදායම්ලාභී ජනතාව බැවින්,ඔවුන් ආර්ථික වශයෙන් නඟා සිටුවීම සහ මානව සම්පත් සංවර්ධනය සඳහා පුළුල් වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බවයි.

එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය තවදුරටත් සහාය අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

එහිදී අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂවරිය, ආපදා සහන කටයුතු සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හදිසි මූල්‍ය ආධාර ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන් කළේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ගත් කඩිනම් පියවර සහ අභියෝග හමුවේ සැලසුම් සහගතව යළි නැඟී සිටීමට දක්වන කැපවීම ඇය ඇගයීමට ලක් කළ බවයි.

සර්ව ආර්ථික ස්ථාවරත්වය මත ආර්ථික වර්ධනයක් සම්පූර්ණ කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සමීප සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ද එහිදී එකඟතාව පළවී තිබේ.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අද(17) ගම්පොල උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතුර ග්‍රාමයේ නිරීක්ෂන සංචාරයක නිරත විය.

ඒ, දිට්වා සුළිකුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් සොයා බැලීම සදහායි.

සිදුවූ ආපදාවලින් මාවතුර ප්‍රදේශයේ නිවාස රැසක් නාය යාමට ලක්ව 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

අතුරුදන් වූ පිරිස 06 ක්.

විපතට පත් ජනතාව සමග අදහස් හුවමාරු කරගත්  ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා , ඔවුන් හට සිය සංවේගය පළ කළා ය.

ව්‍යසනකාරි අවස්ථාවකදී රජය ක්‍රියාත්මක කළ කඩිනම් සහන වැඩපිළිවෙල පිළිබඳව සතුට පළ කළ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා එහිදී ජනතාව දැක්වූ අසීමිත ධෛර්යය, කැපවීම හා එකමුතු බවද අගය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.