ගාසා තීරයට ඩොලර් බිලියන 5ක්...

ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයේ රටවලින්, ගාසා තීරයට ඩොලර් බිලියන 5ක්...

by Staff writer 16-02-2026 | 2:54 PM

COLOMBO(News1st) - සාම මණ්ඩලයේ සාමාජික රටවල් ගාසා තීරය වෙනුවෙන් ඩොලර් බිලියන 5කට වැඩි මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන රැස්වීමකදී මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කෙරෙන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කළේය.

ඊශ්‍රායල - හමාස් සාම ගිවිසුමේ කොටසක් ලෙස,,ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරයේ පාලනය පවත්වා ගෙන යාම සදහා අදාළ සාම මණ්ඩලය ස්ථාපනය කළේය.

හමාස් සංවිධානය නිරායුධ වීමෙන් පසු, ගාසා තීරයේ ආරක්ෂාව ඇතුළු අභ්‍යන්තර කටයුතු සඳහා සහය වීමට නිර්මාණය කෙරෙන හමුදා කණ්ඩායමට ද භටයින් දහස් ගණනක් යෙදවීමට විදෙස් රටවල් එකඟ වී ඇතැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

ලබන බ්‍රහස්පතින්දා සාම මණ්ඩලයේ සාමාජික රටවල් 20ක පමණ රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් රැස්වන්නේ වොෂින්ටන් නුවර පිහිටි අමෙරිකානු සාම ආයතනයේදිය.

එම ආයතනයේ නාම පුවරුව, "ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් සාම ආයතනය" ලෙස දැන් වෙනස් කර ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වේ.