දේශබන්දු: මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන්

දේශබන්දුට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන්

by Staff writer 12-02-2026 | 5:38 PM

COLOMBO (News 1st) – පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක විභාගය අවසන් කිරීමට, ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේ ය.

පෙත්සම් අද කැඳවනු ලැබුවේ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයී.

පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පිරිසක්.

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තමන් තවදුරටත් සිය සේවාදායකයා වෙනුවෙන් පෙනී නොසිටින බවත්, ඊට අදාළ පෙරකලාසිය ඉවත් කරගෙන ඇති බවත් අධිකරණයට දන්වා සිටියා.

හිටපු කතානායකවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරංජන් අරූල්ප්‍රගාසම් එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ, වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට මේ වන විට පාර්ලිමේන්තුව කටයුතු කර ඇති බවයි.

ඒ අනුව පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ පදනමක් නොමැති බව, ඔහු සඳහන් කළේ ය.

එම අවස්ථාවේ පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම් පැවසුවේ, මෙම නඩුකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධ ඉතා වැදගත් නඩුකර බැවින් සිය සේවාදායකයින් ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් අපේක්ෂා කරන බවයි.

එවැනි අනීතික ක්‍රියා ඉදිරියේදී සිදුවීම වළක්වා ගැනීම සඳහා අධිකරණ තීන්දුවක් ලබාදීම වැදගත් බව, කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා කියා සිටියේ ය.

තවත් පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ, දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට අදාළ නිර්දේශය ඉදිරිපත් කිරීමේදී කථානායකවරයා ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමෙන් පිටතදී බවයි.

ඒ හේතුවෙන්  එම අනීතික ක්‍රියාව සම්බන්ධයෙන් අධිකරණය මාර්ගයෙන් තීන්දුවක් ලබා ගැනීම වැදගත් බව ඔහු අවධාරණය කළේ ය.

එම අවස්ථාවේ විවෘත අධිකරණය ඇමතූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සදහන් කළේ, වග උත්තරකාර හිටපු පොලිස්පතිවරයා මේ වන විට පාර්ලිමේන්තුව මගින් සම්මත කළ යෝජනාවකට අනුව ධුරයෙන් නෙරපා හැර ඇති බවයි.

එවැනි තත්ත්වයක් යටතේ මෙම නඩුකරය විභාග කිරීම " පාලු ගෙදර වලං බිඳීම" වැනි ක්‍රියාවක් විය හැකි බව, අගවිනිසුරුවරයා සඳහන් කළේ ය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, පෙත්සම් වල වගඋත්තරකරුකු ලෙස නම් කර සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ලේකම්වරයා මාර්ගයෙන් ඉකුත් වසරේ ජනවාරී 28 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශයෙන් දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ලෙස පත්කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව අනුගමනය කළ ක්‍රියාපටිපාටිය දෝෂ සහගත බව ප්‍රකාශ කර ඇති බවයි.

කරුණු සළකා බැලූ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්, ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම කරුණු අධිකරණය හමුවේ සටහන් තැබීමෙන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට එකගතාව පළ කරන බව, ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම කරුණු සටහන් කරමින්, එය සැළකිල්ලට ගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ, පෙත්සම් විභාගය අවසන් කිරීමටයි.