යෝෂිත - ඩේසි නඩුව කල් යයි

යෝෂිත - ඩේසි නඩුව කල් යයි

by Staff writer 09-02-2026 | 7:38 PM

COLOMBO(News1st) - යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුව අප්‍රේල් 24 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළේය.

නඩුව අද කැඳවනු ලැබුවේ, මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි හමුවේයි.

දෙවන විත්තිකාරිය නඩු කටයුත්තකට මුහුණ දීමට හැකි අන්දමේ මානසික තත්ත්වයකින් පසුවනවාද යන්න කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරියා මාර්ගයෙන් කැඳවා ඇති විශේෂඥ වෛද්‍ය වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව, රජයේ අධි නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා අධිකරණයට දන්වා සිටියේය.

එබැවින් අදාළ පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු නඩුව කැඳවීමට දිනයක් ලබා දෙන්නැයි රජයේ අධි නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව අප්‍රේල් 24 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය.

නඩුව ගොනු කර ඇත්තේ, 2009 වසරේ මාර්තු 31 වැනිදාත්, 2013 වසරේ දෙසැම්බර් මස 12 වැනිදාත්, අතර කාලසීමාවේ උපයා ගත් ආකාරය සනාථ කිරීමට නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් 3ක ස්ථාවර තැන්පතු ලෙස තැන්පත් කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින්ය.