.webp)
-609932.jpg)
ඒ, ඊට අදාළ නඩුව අද(09) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ නැවත කැඳවූ අවස්ථාවේදීයි.
ත්‍රිකුණාමලයේ වෙරළාසන්නයේ පිහිටි ඉඩමක පවත්වාගෙන ගිය අවන්හලක් ඉවත් කිරීම සඳහා වෙරළ සංරක්ෂණ බලධාරීන් දින ලබාදී තිබියදී කොළඹින් ගිය පිරිසක් ද මැදිහත්ව විරෝධයක් ආරම්භ කළේය.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් මේ විරෝධය අතරතුර එම ස්ථානයට බුදු පිළිමයක් ද වැඩම කළ අතර ප්‍රදේශයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිද්ධියට මැදිහත්වූ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.
විරෝධතාව පළ කළ පිරිස පැවසුවේ, එම ඉඩම ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ලබාදී ඇති බවයි.
සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනයකින් පසුව පොලීසිය සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
විරෝධතාව සංවිධානය කරමින් ඊට මූලිකත්වය ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයේ විහාරාධිපති පුජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශතිස්ස හිමි, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමි, පූජ්‍ය ත්‍රිකුණාමලය නන්ද හිමි සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගත් පිරිසට ඇතුළත්.
මීට අමතරව අදාළ ඉඩමේ අවන්හල බදු පදනමින් පවත්වාගෙන යාමට මැදිහත්වූ බව කියන ත්‍රිකුණාමලය එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක දීපානි ලියනගේ සමග විදුරංග ලොකුගලප්පත්ති, එල්. ටී. පෙරේරා, පියල් ප්‍රේමසිරි, දුලාර ගුණතිලක, සුධීපා ලියනගේ සහ සුගත් ප්‍රසන්න නමැති පිරිසද නඩුවේ සැකකරුවන් වේ.
අද පෙරවරුවේ සැකකරුවන් නැවත වරක් ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සුදීන් හමුවට ඉදිරිපත් කළේය.
නඩුවට අදාළව ඇප ලබා ගැනීමේ ඉල්ලීමක් අද දිනයේ මහාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව තිබූ බැවින් මහේස්ත්‍රාත්වරයා එය විභාගයට ගැනීම පසුවට කල් තබනු ලැබුවා.
ඇප ලබා ගැනීමට අදාළව ගොනුකල නඩුව ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අබ්දුල්ලා මහරූෆ් ඉදිරියේ අද(09) සළකා බැලූ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ කලණ කොතලාවල එහිදී කියා සිටියේ, ඇප ලබාදීමට එරෙහිව විරෝධතා ගොනුකරන බවයි.
ඒ සදහා රජයේ නීතිඥවරයා දින ඉල්ලා සිටියේය.
මහාධිකරණ විනිසුරුවරයා ඒ සඳහා අවස්ථාව සලසා දෙමින් නඩුව ලබන 11 දක්වා කල් තැබීමට නියම කළේය.
අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව නැවත සලකා බැලුණු අතර එම නඩුවද 11 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.
ඒ අනුව සැකකරුවන් එදින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අදත් නඩු විභාගය පැවති අවස්ථාවේ දේශපාලඥයින් ඇතුළු පිරිසක් අධිකරණ සංකීර්ණය අසළට රැස්ව සිටිනු දක්නට ලැබුනා.
