ගම්මැද්ද ‘Care & Dare’ හෙට සිට දින 3ක් බදුල්ලේදී..

සහන සැලසීමෙන් ඔබ්බට ගොස් යළි ගොඩනැගීම අරඹන ගම්මැද්ද ‘Care & Dare’ ක්‍රියාන්විතය හෙට සිට අඛණ්ඩව දින 3ක් බදුල්ල දිස්ත්‍රික්කයේදී..

by Staff writer 23-01-2026 | 3:46 PM

COLOMBO(News1st) - දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශකාරී බලපෑමෙන් මෙරට ජනතාව යථා තත්ත්වයට පත්වෙමින් සිටින මොහොතක, ක්ෂණික මානුෂීය සහන සහ දීර්ඝකාලීන ප්‍රතිසංස්කරණ කටයුතු ඒකාබද්ධ කරමින්, ගම්මැද්ද සිය මෙහෙයුම්වල නව අදියරක් වන ‘Recover and Rebuild: Care & Dare’ වැඩසටහනේ දෙවන අදියර හෙට(24) සිට අඛණ්ඩව දින තුනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ, බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ය.

හෙට දවසේදී පස්සර මධ්‍ය මහා විද්‍යාලයේදීත්, 25 වැනිදා මඩොල්සිම දෙමළ මහා විද්‍යාලයේදීත්, 26 වැනිදා වැලිමඩ දිවුරුම්පොල පුරාණ රජමහා විහාරස්ථානයේදීත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන මගින් හදිසි සහන සේවා පමණක් නොව, ප්‍රජාව තිරසාර ලෙස යළි නගාසිටුවීම දක්වා ගම්මැද්දේ ආපදා ප්‍රතිචාර සේවාවන් පුළුල් කිරීමට හැකි වී තිබේ.

‘Care & Dare’ යන යෙදුම තෝරාගැන ඇත්තේ ද විවිද ක්ෂේත්‍ර ගැන සැලකිලිමත් වීමෙන්. තවමත් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳව දිගින් දිගටම සොයා බැලීමත් (Care), විනාශයෙන් පසු තම ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට උත්සාහ කරන පවුල්වලට සහය වෙමින් නැවත ගොඩනැගීමේ කාර්යට අභියෝගාත්මකව මුහුණ දීමත් (Dare) යන්නෙන් අදහස් වෙයි.

මෙම වැඩසටහන ඉදිරි සති කිහිපය තුළ ප්‍රදේශ කිහිපයක් ආවරණය කරමින් ප්‍රජා කඳවුරු 10ක් හරහා ක්‍රියාත්මක වෙනු ඇත.

එහි පළමු කඳවුර හෙට (10 ) සුළි කුණාටුවෙන් දැඩි ලෙස ආපදාවට ලක්වූ කොත්මලේ ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතය.

සෑම ප්‍රජා කඳවුරකදීම හදිසි සහන සේවාවලට අමතරව පහත සඳහන් ප්‍රජා සත්කාර සේවාවන් ද සපයීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

- හදිසි ආහාර ද්‍රව්‍ය සහ සහන ද්‍රව්‍ය බෙදා හැරීම.

- වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය සේවා.

- ලේඛන කටයුතු සහ හිමිකම් ලබා ගැනීම සඳහා හදිසි නීති සහය.

- පීඩාවට පත් දරුවන්ගේ අධ්‍යාපන කටුයුතු සඳහා අවශ්‍ය සහය.

- ජීවනෝපාය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සඳහා වෘත්තීය සහ නිපුණතා පුහුණු අවස්ථා.

ඕස්ට්‍රේලියාව කේන්ද්‍රගත කරගනිමින් ක්‍රියාත්මක වන Minderoo Foundation ලබා දුන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක මූල්‍ය දායකත්වය මත මෙම ක්‍රියාන්විතය ක්‍රියාත්මක වේ.

මෙම සත්කාර්යය සෞඛ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ හදිසි සහන මධ්‍යස්ථානය සමග එක්ව ක්‍රියාත්මක වේ.

මීට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA ), කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ V-Force ස්වේච්ඡා කණ්ඩායම් ද මෙම ක්‍රියාන්විතයට වෘත්තීයමය සහය ලබා දෙයි.

ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියෙල් මහතා සඳහන් කළේ ‘Care & Dare’ හි අරමුණ කෙටි කාලීන සහනවලින් ඔබ්බට ගොස්, "...මහා පරිමාණ ආපදාවකින් පසු ප්‍රජාවන් මුහුණ දෙන සමාජීය, ආර්ථික සහ ආයතනික අභියෝගවලට විසඳුම් සෙවීම" බවයි.

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සමාජසේවා සංවිධානයක් වන මින්ඩරූ පදනම (Minderoo Foundation)  ගම්මැද්ද සමග මෙලෙස අත්වැල් බැඳගැනීම, ගම්මැද්දේ ක්‍රියාන්විතය කෙරෙහි ඇති ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමක් වන අතරම දිට්වා සුළි කුණාටුවෙන් පසු සමාජය බලගැනීමේ ක්‍රියාවලියටද ශක්තියක් වී ඇත.

ශ්‍රී ලංකාව ආපදා කළමනාකරණයේ සිට යළි ගොඩනැගීමේ අදියර කරා ගමන් කරන විට, පීඩාවට පත් ජනතාවට හුදෙක් ආධාර සැපයීම පමණක් නොව, ඔවුන්ගේ ගෞරවය රැකගෙන, නිපුණතාවයෙන් සහ සහයෝගයෙන් යුතුව නැවත ජීවිත ගොඩනගා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට ‘Care & Dare’ ක්‍රියාන්විතයෙන් බලාපොරොත්තු වේ.