2026 වසරට ඩොලර් බිලියන 1.5 ක ආයෝජන ඉලක්කයක්.

2026 වසරේ අම‍ෙරිකානු ඩොලර් බිලියන 1.5ක සෘජු විදෙස් ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීමේ සැලසුමක - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

by Staff writer 23-01-2026 | 11:29 AM

COLOMBO (News 1st) - 2026 වසරේ අම‍ෙරිකානු ඩොලර්  බිලියන 1.5 ක සෘජු විදෙස් ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

එහි සභාපති අර්ජුන හේරත් සඳහන් කළේ, සිනොපැක් තෙල් පිරිපහදුව, කුළුබඩු සහ පුවක් සැකසීම මෙන්ම දත්ත මධ්‍යස්ථාන මෙන්ම මාර්ගගත විශේෂිත ආර්ථික කලාප ද මේ වසරේ ආයෝජනවලට ඇතුළත් බවයි. 

පසුගිය වසරේ මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය අම‍ෙරිකානු ඩොලර් මිලියන 1057 ක්.

සමාගම් 186ක් පසුගිය වසරේ මෙරට ආයෝජනයට ඉදිරිපත් ව ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. 

ඔහු වැඩිදුරටත් සදහන් කළේ, පසුගිය වසරේ ආයෝජන ව්‍යාපෘති 146 ක් ක්‍රියාත්මක කළ බවයි. 

ඊට නව ව්‍යාපෘති 70ක් හා ව්‍යාපෘති පුළුල් කිරීම් 76 ක් ඇතුළත් බව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ ය. 

ව්‍යෘපෘතිවල ප්‍රගතිය අධීක්ෂණය, ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ රේඛීය ආයතන හා නියාමන ආයතන සමග සමීපව කටයුතු කිරීම වැනි නව පියවර හේතුවෙන් ආයෝජනයට හිතකර පරිසරයක් හා ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හැකිවී ඇති බව එහි සභාපති අර්ජුන හේරත් ප්‍රකාශ කළේ ය.