ස්නයිපර් සිද්ධියට අධිකරණය දුන් තීන්දුව මෙන්න

සැකකටයුතු ලෙස CIDය ඉදිරිපිට රැඳී සිටි කොමාන්ඩෝ සෙබලුන් දෙදෙනා සතුව තිබී හමුවූ ස්නයිපර් අවිය වෙනත් අපරාධයන් සඳහා භාවිතා කර තිබේදැයි පරීක්ෂා කරන්නැයි අධිකරණයෙන් නියෝග!

by Staff writer 14-01-2026 | 7:27 PM

COLOMBO(News1st) - සැකකටයුතු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැදී සිටි කොමාන්ඩෝ සෙබලුන් දෙදෙනා සතුව තිබී හමුවූ ස්නයිපර් අවිය වෙනත් අපරාධයන් සදහා භාවිතා කර තිබේදැයි පරීක්ෂා කරන්නැයි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද(14) නියෝග කළේ ය.

ඒ , මෙම සිදුවීමට අදාළ නඩුව අද(14) කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් කසුන් දසනායක ඉදිරියේ කැදවූ අවස්ථාවේදීයි.

රජයේ රස පරීක්ෂකවරයාගේ පරීක්ෂණ අවසන්වූ පසුව රුපියල් ලක්ෂ දෙකක බැඳුම්කරයක් මත ස්නයිපර් අවිය ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත මුදා හරින ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ ය.

එම නියෝගයේ සඳහන් වන්නේ, ස්නයිපර් අවිය අවශ්‍ය වූ විට විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට යුද හමුදාව කටයුතු කළ යුතු බවයි.

ස්නයිපර් අවිය රුපියල් ලක්ෂ 62 ක් වටිනාකමකින් යුතු බව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට මාර්ගයේ හාබර් මාස්ටර් කාර්යාලයට ඇතූළුවන වරාය ගේට්ටුව අසන්නයේදී ස්නයිපර් අවියක් සමග සැකකටයුතු දෙදෙනෙකු පසුගිය ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.

සිවිල් ඇදුමින් සැරසී සිටි මෙම පුද්ගලයින් දෙදෙනා කළු රෙදි කැබැල්ලකින් ආවරණය කර අදාළ අවිය ළග තබාගෙන සිටි බවත් අනන්‍යතාව තහවුරු කල හැකි කිසිදු ලේඛනයක් ඔවුන් සතුව නොතිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඔවුන් කියා සිටියේ ස්නයිෆර් වර්ගයේ ගිනි අවි යොදාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සුදානමක් පිලිබදව ඒ වනවිට බුද්ධි තොරතුරු ලැබී තිබූ බැවින් මෙම සැකකටයු පුද්ගලයින් පරීක්ෂා කර අතුත්අඩංගුවට ගත් බවයි.

පසුගිය සදුදා ඔවුන් අධිකරණයට ඉදිපත් කල අවස්ථාවේ යුද හමුදාවෙන්ද නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී සිටි අතර ඔහු පෙන්වාදී තිබුනේ යුද හමුදා කමාන්ඩෝ සෙබලුන් දෙදෙනෙකු වන සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වරාය පරිශ්‍රය තුළ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ පෙරහුරුවක නිරතව සිටි බවයි.

විශේෂ පුහුණුවක් සඳහා යොමු වී සිට නැවත එමින් සිටියදී ඔවුන් වරාය පරිශ්‍රයට ඇතුළුවිය යුතු ගේට්ටුව වසා තිබීම නිසා වෙනත් මාර්ගයකින් පැමිණෙන විට අත්අඩංගුවට පත්ව ඇතැයි නීතිඥවරයා අධිකරණයට දැනුම්දී තිබේ.

ඔහු අධිකරණයට කියා සිටියේ ස්නයිෆර් අවිය ලඟ තබා ගැනීමට ඔවුන්ට අනුමැතිය තිබූ බවයි .