මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් CIDයට පැමිණිල්ලක්

මහජන ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය බාහිර පාර්ශ්වයක ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් CID විමර්ශනයක්

by Staff writer 11-01-2026 | 11:27 AM

COLOMBO(News1st) - මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශ්වයක ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ, අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න විසින්.

පොලීසිය පැවසුවේ, අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයේ යම් අපැහැදිලිතාවයක් නිරීක්ෂණය වන බවයි.

එම වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශ්වයක ග්‍රහණයට ලක්වූ අතර එය යථාවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

ඒ, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්වයි.

ලේකම්වරයා විසින් සිදු කළ පැමිණිල්ලට අදාළව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.