ග්‍රීන්ලන්ත විපක්ෂ නායකගෙන් ඩෙන්මාර්කයට රතු සලකුණු

ඩෙන්මාර්කයේ මැදිහත්වීමකින් තොරව ග්‍රීන්ලන්තය, අමෙරිකාව සමග ඍජු සාකච්ඡා වලට යොමුවිය යුතුයි! - ග්‍රීන්ලන්ත විපක්ෂ නායක

by Staff writer 09-01-2026 | 10:03 AM

COLOMBO (News 1st) - ඩෙන්මාකයේ මැදිහත්වීමකින් තොරව, ග්‍රීන්ලන්තය අමෙරිකාව සමග ඍජු සාකච්ඡා වලට යොමුවිය යුතු බව, ග්‍රීන්ලන්ත විපක්ෂ නායක "පේලේ බෘබෙරි" පවසයි.

ඒ ඩෙන්මාකයේ මැදිහත්වීම, අමෙරිකාව සහ ග්‍රීන්ලන්තය යන පාර්ශව දෙකම කෝපයට පත් කරන බව පෙන්වා දෙමිනි.

වෙනිසුවෙලාවේ දියත් කළ හමුදා මෙහෙයුමෙන් පසු අමෙරිකාව ග්‍රීන්ලන්තයද හමුදා මෙහෙයුමක් හරහා බලහත්කාරයෙන් අත්පත් කරගනු ඇති බවට සැක මතු වුණි.

එවැනි පසුබිමක ඩෙන්මාක, ග්‍රීන්ලන්ත සහ අමෙරිකානු රජයේ නියෝජිතයින් ඉදිරි සතියේදී, සාකච්ඡා සදහා රැස්වීමටද නියමිතය.

නමුත් ග්‍රීන්ලන්ත විපක්ෂ නායකවරයා පවසන්නේ අදාල සාකච්ඡා සඳහා අමෙරිකාව සහ ග්‍රීන්ලන්තය පමණක් සහභාගී විය යුතු බවය.

ග්‍රීන්ලන්තයේ ස්වදේශ කටයුතු සදහා 2009 වසරේ සිට ස්වයං පාලනයකට අවසර හිමිවුනද, එය තවමත් ඩෙන්මාකයට අයත් දූපතකි.

එසේ වුවද වසර ගණනාවක සිට එය අත්පත් කරගැනීමට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහ දරමින් සිටි.

ග්‍රීන්ලන්තය පිහිටා ඇත්තේ යුරෝපය සහ උතුරු ඇමරිකාව අතර බැවින්, එම උපායමාර්ගික පිහිටීම අමෙරිකානු බැලස්ටික් මිසයිල ආරක්ෂක පද්ධතියක් ස්ථාපනය කිරීමට ඉතා වැදගත් බව අමෙරිකාවේ මතය වේ.

නමුත් ඊට ඩෙන්මාකය, කැනඩාව සහ යුරෝපා කලාපයෙන් එල්ල වන්නේ ප්‍රබල විරෝධයක්.

එසේ වුවද, ග්‍රීන්ලන්තයේ සියලුම ක්‍රියාකාරී දේශපාලන පක්ෂ, කවර හෝ දිනකදී ඩෙන්මාක පාලනයෙන් නිදහස් වීමට බලාපොරොත්තු වන බව විදෙස් වාර්තා පෙන්වා දෙනු ලබයි.

වර්ග කිලෝමීටර මිලියන දෙකයි දශම එකක් පුරා පැතිරී ඇති ග්‍රීන්ලන්ත දූපතේ ජීවත් වන්නේ පුද්ගලයින් 60,000කටත් වඩා අඩු සංඛ්‍යවක්.