ඉදිරි කාලගුණ තත්ත්වය ගැන දැනුම්දීමක්...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය,ඉදිරි පැය 12 තුළ පීඩන අවපාතයක් වන ලකුණු...

by Staff writer 07-01-2026 | 8:33 AM

COLOMBO(News1st) - දිවයිනට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ, එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇති බවයි.

ඒ හේතුවෙන් හෙට (08) සිට උතුරුමැද,උතුරු සහ නැගෙනහිර පළාතෙත්,මධ්‍යම පළාත්වලත් වැසි තත්ත්වය වැඩිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරුමැද , වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ නැගෙනහිර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං ඇතිවිය හැකි විය හැකි බවද,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

මේ අතර පීඩන අවපාතය හේතුවෙන් අද (07) සිට නැවත දැනුම් දෙන තුරු  කන්සන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් පිළිබඳ ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ, මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් , නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ මතුරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.

බදුල්ල, මහනුවර සහ මොණරාගල තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ අවධානයයෙන් සිටින ලෙසද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.

මේ අතර සේනානායක සමුද්‍රය, යාන් ඔය, කන්තලේ ජලාශය ඇතුළු ප්‍රධාන ජලාශ 22ක වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ බෝමුරුඇල්ල, බදුලු ඔය, දෙමෝදර ජලාශය ඇතුළු මධ්‍ය පරිමාණ ජලාශ 21ක වාන් දොරටු විවෘත කර ඇති බවයි.