.webp)

අධ්‍යාපනික සහයෝගිතාව අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
- ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශකවල ඉහළට ඔසවා තැබීම හා අන්තර්ජාතිකකරණය උදෙසා විදේශීය විශ්වවිද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගිතාවන් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර වසර පහක කාලසීමාවක් සඳහා පහත සඳහන් පරිදි අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සහ තායිලන්තයේ මහාමකුට් බෞද්ධ විශ්වවිද්‍යාලය අතර පීඨ සහ සිසුන් අතර අධ්‍යාපන හා සංස්කෘතික ක්‍රියාකාරකම් ඉහළ නැංවීම, සහයෝගිතා පර්යේෂණ, ශාස්ත්‍රීය වැඩමුළු හා සම්මන්ත්රණ පැවැත්වීම ආදිය අරමුණු කර ගනිමින් ශාස්ත්‍රීය හා පර්යේෂණ සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුම.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සහ ඉන්දුනීසියාවේ ජකර්තාහි නාලන්දා ආයතනය අතර අධ්‍යාපන, පර්යේෂණ හා ප්‍රජා සේවය යන ක්ෂේත්‍ර තුළින් අධ්‍යාපනික සහයෝගිතාව ඉහළ නැංවීම, අධ්‍යාපන විශේෂඥයින්ගේ හා කථිකාචාර්යවරුන්ගේ විශේෂඥ දැනුම ලබා ගැනීම, විද්‍යාගාර හා පුස්තකාල ආදී භෞතික සම්පත් උපයෝජනය සහ සීමාවාසික පුහුණුව ඇතුළු පුහුණු වැඩසටහන් හා ශාස්ත්‍රීය සම්මන්ත්රණ මඟින් මානව සම්පත් සංවර්ධනය, විෂයමාලා සංවර්ධනය ආදිය අරමුණු කර ගනිමින් වන අවබෝධතා ගිවිසුම.
ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලය සහ පෝලන්තයේ එස් ජී එච් වෝර්සෝ ආර්ථික විද්‍යා පාසල අතර අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ක්ෂේත්රවල ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීම හා ප්‍රකාශන එළිදැක්වීම, ඒකාබද්ධ සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම, අධ්‍යයන කාර්යමණ්ඩල හා ශිෂ්‍ය හුවමාරුව සහ අධ්‍යාපනික තොරතුරු හා ද්‍රව්‍ය හුවමාරුව යන අරමුණු සහිත ව වන අවබෝධතා ගිවිසුම.
තැනැත්තන් වෙළෙඳාම අධීක්ෂණය කිරීමේ හා වැළැක්වීමේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම - 2026-2030
- සංවිධානාත්මක අපරාධයන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNTOC) සහ එහි අතුරු බලගැන්වීමේ ව්‍යවස්ථාවක් වන තැනැත්තන් වෙළෙඳාම නිවාරණය, පිටුදැකීම සහ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම (විශේෂයෙන් කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහිව සිදු කරනු ලබන එකී අපරාධ සම්බන්ධයෙන්) බලගැන්වීම සඳහා වන පැලමෝර් ප්‍රොටෝකෝලය (Palermo Protocol) ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා අපරානුමත කරනු ලැබ තිබේ. ඒ අනුව, තැනැත්තන් වෙළෙඳාම වැළැක්වීම සඳහා සක්‍රීයව දායක වන හා උනන්දුවක් දක්වන ආයතන සම්බන්ධීකරණය කිරීම සඳහා තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය 2010 වර්ෂයේදී ස්ථාපිත කර ඇත. එකී කාර්යසාධක බලකාය නිශ්චිත කාල සීමාවන් සඳහා සකස් කරනු ලැබූ ක්‍රියාකාරී සැලසුම්වලට අනුකූලව ක්‍රියාත්මක වී ඇති අතර, 2021-2025 දක්වා වන කාලය සඳහා වූ අවසන් ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මේ කාලය 2025-12-31 දිනෙන් අවසන් වී තිබේ. එබැවින්, එකී ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කර, අදාළ සියලුම පාර්ශ්වයන්ගේ එකඟතාව සහ දැනුම්වත්භාවය සහිතව, නිරාවරණය, ආරක්ෂා කිරීම, නඩු කටයුතු මෙහෙයවීම් (පැමිණිලි කිරීම) සහ හවුල්කාරිත්වය යන සිව් ආකාර ප්රවේශයන්ගෙන් සමන්විතව 2026-2030 කාලපරිච්ඡේදය සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරනු ලැබ ඇත. එකී ජාතික උපයාමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රජය සතු බංගලා නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම පිණිස ආයෝජන යෝජනා කැඳවීම
- පූර්වගාමී අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන ලද බංගලා නිවාස හා අදාළ පරිශ්‍රයන් මෙන් ම රජය සතු ඌන උපයෝජනයක් සහිත නිවාස හා පරිශ්‍ර ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුනා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024-12-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. එම නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව මඟින් තානාපති කාර්යාල, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍යතාන්ත්‍රික භාවිතයන්, රජයේ හා රජයට අනුබද්ධිත ආයතන මෙන්ම High-end Restaurant/Boutique Hotel සහ වඩාත් ඵලදායී ආයෝජන ව්‍යාපෘති සඳහා එකී බංගලා නිවාස උපයෝජනය කිරීම නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, මූලික ව හඳුනාගනු ලැබ ඇති බංගලා නිවාස 24ක්, එම බංගලා නිවාස පිහිටා ඇති ස්ථාන අනුව සමාජීය වශයෙන් ගැටලුවක් නොවන ආකාරයට, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතිය (PPP) යටතේ ඵලදායී උපයෝජනයන් ක්‍රියාත්මක කිරීම පිණිස වසර 30ක කාලයක් සඳහා බදු පදනමින් ලබා දීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා යෝග්‍ය ආයෝජකයින් හඳුනාගැනීමට හැකි වන පරිදි උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කාර්යසාධනය මත පදනම් වූ ගෙවීම් ක්‍රමවේදයකට අනුව රෝග නිශ්චය කිරීමේ වාර්තා ලබා ගැනීමේ ප්‍රධාන උපකරණවල සේවය රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව මාදිලියක් යටතේ ලබා ගැනීම
- බෝ නොවන රෝග වර්ධනය සහ සියලු සත්කාර මට්ටම්වල පුළුල් සේවා අවශ්‍යතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය තුළ රෝග නිශ්චය සඳහා වන උසස් මට්ටමේ සේවා සඳහා පවතින ඉල්ලුම ඉහළ යමින් පවතී. එසේ වුවද, CT ස්කෑනර් යන්ත්‍ර, MRI ස්කෑනර් යන්ත්‍ර, DSA, හෘද කැතීටකරණ ඒකක සහ ස්වයංක්‍රීය රක්තවේදය හා ජෛව රසායන විද්‍යා විශ්ලේෂක වැනි ප්‍රධාන උපකරණ මඟින් වාර්තා ලබා ගැනීමේදී සෑම රෝගියෙකුටම සමාන අවස්ථාවක් නොමැති වීම හේතුවෙන් ඔවුන් අපහසුතාවට පත් වන බව පෙනී ගොස් ඇත. විශේෂයෙන්, රජයේ රෝහල්වල එම වාර්තා ලබා ගැනීම සඳහා පවතින පහසුකම් සීමිත වීම හේතුවෙන් එවැනි රෝගීන්ට දිගු පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුවීම නිසා සායනික කළමනාකරණයේ ප්‍රමාදයන් ඇති වන බව නිරීක්ෂණය වී තිබේ. එමෙන්ම, එවැනි උපකරණ මිල දී ගැනීම සඳහා පවතින මූල්‍ය සීමාවන් සහ එවැනි යන්ත්‍ර මිල දී ගැනීම සහ නඩත්තුව සඳහා අනුගමනය කළ යුතු සංකීර්ණ ප්‍රසම්පාදන ක්‍රමවේද සැලකිල්ලට ගෙන, එවැනි වාර්තා ලබා ගැනීම සඳහා විකල්ප ක්‍රමවේද කෙරෙහි යොමු වීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, අදාළ රෝග නිශ්චය සඳහා වන සේවාවන්ට අවශ්‍ය උපකරණ කාර්යසාධනය මත පදනම් වූ ගෙවීම් ක්‍රමවේදයකට යටත්ව, යෝග්‍ය රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව මාදිලියක් යටතේ නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලබා ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රජයේ රෝහල්වල රුධිර කාන්දුකරණ සේවා පුළුල් කිරීම සඳහා රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව මාදිලිය ක්‍රියාත්මක කිරීම
- රජයේ රෝහල් 80ක මේ වන විට රුධිර කාන්දුකරණ සේවාවන් පවතින නමුත්, වැඩි වන සායනික ඉල්ලුම සපුරාලීම සඳහා පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇත. ඒ හේතුවෙන් වකුගඩු රෝගීන්ට මුහුණ දීමට සිදු වන අපහසුතා සැලකිල්ලට ගෙන, රුධිර කාන්දුකරණ සේවා පුළුල් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ සඳහා දැනටමත් මහනුවර ජාතික රෝහලේ ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදය මඟින් ලබා ගෙන ඇති අත්දැකීම් මත පදනම්ව, හඳුනාගත් රජයේ රෝහල්වල රුධිර කාන්දුකරණය සඳහා රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ සුදුසු මාදිලියක් හඳුනාගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත. යෝජිත ක්‍රමවේදය යටතේ රුධිර කාන්දුකරණ යන්ත්‍ර, ප්‍රතිලෝම ආස්‍රැති පද්ධති, අවශ්‍ය පාරිභෝජ්‍ය ද්‍රව්‍ය, ක්‍රියාකාරිත්වය සහ නඩත්තුව පෞද්ගලික හවුල්කරු විසින් සම්පූර්ණයෙන් මූල්‍යකරණය කර කළමනාකරණය කිරීමටත්, සම්පූර්ණ සායනික අධීක්ෂණය රඳවා ගනිමින් රජය විසින් යටිතල පහසුකම් සැපයීමටත් අපේක්ෂා කෙරේ. ඒ අනුව, තෝරා ගත් රජයේ රෝහල්වල රුධිර කාන්දුකරණ සේවා පුළුල් කිරීම සඳහා රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවේ වැඩිදියුණු කළ ත්‍රිපෝෂ වැඩසටහනක් සඳහා ඔරොත්තු දෙන ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් බඩඉරිඟු පදනම් කර ගත් ආහාර පද්ධතියක් ගොඩනැගීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- මෙරට ජාතික පෝෂණය සම්බන්ධයෙන් වන මැදිහත්වීම්වල කොටසක් ලෙස ත්‍රිපෝෂ වැඩසටහන නගාසිටුවීම සඳහා ලෝක ආහාර වැඩසටහන විසින් සහාය ලබා දීම සිදු කරනු ලබයි. ඒ අනුව, ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන බඩඉරිඟුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ත්‍රිපෝෂ සැපයුම්දාමය ශක්තිමත් කිරීමේ අරමුණින් 'ශ්‍රී ලංකාවේ වැඩිදියුණු කළ ත්‍රිපෝෂ වැඩසටහනක් සඳහා ඔරොත්තු දෙන ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් බඩඉරිඟු පදනම් කර ගත් ආහාර පද්ධතියක් ගොඩනැගීම: වපුරමු ගොඩ නැගෙමු' යනුවෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන විසින් ව්‍යාපෘති යෝජනාවක් සකස් කරනු ලැබ ඇත. යෝජිත ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල කුඩා හා මධ්‍ය පරිමාණ බඩඉරිඟු ගොවීන් 7,500කට පමණ ප්රතිලාභ ලැබීමට නියමිත අතර, මුළු ව්‍යාපෘතිය සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ප්‍රදානයක් ලබා දෙනු ලබයි. 2025-2029 කාලසීමාව තුළ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ සාකච්ඡා සටහන් සහ කාර්ය නිර්ණේය අනුදේශ අත්සන් තැබීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මහනුවර යාපනය මාර්ගයේ (A-009) මහයියාව යටිබිම් පාලම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- මහනුවර යාපනය මාර්ගයේ (A-009) මහයියාව දුම්රිය මාර්ගයට යටින් කොන්ක්‍රීට් යටිබිම් පාලමක් ඉදිකිරීමේ ප්‍රසම්පාදනය සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 03ක් ඉදිරිපත් වී තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව M/s. NEM Construction (Pvt) Ltd වෙත රුපියල් මිලියන 699.58ක (බදු රහිත) මුදලකට පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා වාහන අංක තහඩු මුද්‍රණය කර සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත වාහන අංක තහඩු මුද්‍රණය කර සැපයීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 04ක් ඉදිරිපත් වී තිබේ. අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව වසර 05ක කාලසීමාවක් සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත වාහන අංක තහඩු මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනය M/s South Asian Technologies (Pvt) Ltd වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද 'Harbour View Residencies' නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 350ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත මිල දී ගැනීම
- රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධරයන් සඳහා නිවාස ඒකක ලබා දීමේ අරමුණ ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ 13, සිරිල් සී පෙරේරා මාවතේ නිවාස ඒකක 452කින් යුතු මහල් 14කින් සමන්විත 'Harbour View Residencies' නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. බස්නාහිර පළාතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි පොලිස් කොට්ඨාසයන්හි සේවයේ නියුතු නිලධරයන්හට නිල නිවාස ප්‍රමාණවත් පරිදි ලබා දී ඔවුන්ගෙන් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබා ගැනීමේ අරමුණ ඇතිව එකී නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 350ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත මිල දී ගැනීමටත්, එම නිවාස සඳහා ප්‍රමාණවත් වාහන නැවතුම් පහසුකම් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරවා ගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මර්බන් වර්ගයේ බොර තෙල් බැරල් 2,800,000 ± 5%ක් (නැව් තොග 04ක්) මිල දී ගැනීම සඳහා වූ දිගුකාලීන ප්‍රසම්පාදනය
- 2026-04-15 දින සිට 2026-08-14 දින දක්වා මාස හතරක කාලයක් වෙනුවෙන් මර්බන් වර්ගයේ බොර තෙල් බැරල් 2,800,000 ± 5%ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා සැපයුම්කරුවන් පස්දෙනෙකු (05) විසින් ලංසු ඉදිරිපත් කර ඇත. එකී ලංසු සම්බන්ධයෙන් වූ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, මර්බන් වර්ගයේ බොර තෙල් බැරල් 2,800,000 ± 5%ක් (බැරල් 700,000 ± 5% බැගින් වූ නැව් තොග 04ක්) මිල දී ගැනීම සඳහා වූ දිගුකාලීන ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ M/s. Vitol Asia Pte. Ltd. වෙත ප්රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා නව පනතක් හඳුන්වා දීම
- 1963 අංක 11 දරන මුදල් පනත යටතේ ජාතික ලොතරැයි මණ්ඩලය ස්ථාපිත කර ඇත. වසර 62කට පමණ පෙර පනවන ලද එම පනත ලොතරැයි වෙළෙඳපොළෙහි වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලදුව ඒ සඳහා නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස 2017-02-14 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මූලික පනත් කෙටුම්පත සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගනු ලැබ තිබේ. එකී යෝජිත නව සංශෝධන ද ඇතුළත් කරමින් ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2022 අංක 03 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර අයභාර) නියෝග සංශෝධනය කිරීම
- විදේශයන්හිදී නිකුත් කර ඇති රියදුරු බලපත්‍ර මත පදනම්ව මෙරටදී තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මඟින් සිදු කරන ලද අතර, 2025-08-03 දින සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාපිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා කවුළුවක් මඟින් ද එම කාර්යය සිදු කිරීම ආරම්භ කරනු ලැබ ඇත. (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ සාදනු ලැබ ඇති 2022 අංක 03 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර අයභාර) නියෝග මඟින් එලෙස තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු ප්‍රකාශයට පත් කර තිබේ. කෙසේ වුව ද, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කවුළුවක් විවෘත කර අවශ්‍ය පහසුකම් සැපයීමේදී ඒ සඳහා අය කරනු ලබන රුපියල් 2,000/- ක් වූ ගාස්තුව ප්‍රමාණවත් නොවන බැවින්, සපයන සේවාවන්ට සරිලන පරිදි ගාස්තු යාවත්කාලීන කරමින් ඒ සම්බන්ධයෙන් වන නියෝග සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, සංශෝධිත ගාස්තු හඳුන්වා දීම සඳහා වන නියෝග අංක 2463/04 දරන 2025-11-17 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එම නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සර්වේයර් ජනරාල් තනතුර සඳහා පත් කිරීම
- දැනට සර්වේයර් ජනරාල් වශයෙන් කටයුතු කරනු ලබන එන්.කේ.යූ.රෝහණ මහතා අනිවාර්ය විශ්‍රාම යාමේ වයසට එළඹීම මත 2026-01-31 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත ව ඇත. ඒ අනුව පුරප්පාඩු වන සර්වේයර් ජනරාල් තනතුර සඳහා දැනට අතිරේක සර්වේයර් ජනරාල් (මධ්‍යම) ලෙස සේවයේ නියුතු ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි පී.කේ.එල්.එස්.පඬුවාවල මහත්මිය 2026-02-02 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ක්‍රීඩා සංකීර්ණවල සංවිධානය සහ පරිපාලනය විධිමත් කිරීම සඳහා කළමනාකරණ මණ්ඩල පිහිටුවීම
- ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් 2025-2027 වර්ෂයන් තුළ 'ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම' යනුවෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ යටතේ ප්‍රධාන වශයෙන් දිවයින පුරා හඳුනාගත් ක්‍රීඩාංගන සහ ගෘහස්ථ ක්‍රීඩාංගන සංවර්ධනය කිරීමටත්, දිවයින පුරා පාසල් ක්‍රීඩාපිටි හා මහජන ක්‍රීඩාංගන සංවර්ධනය කිරීමටත් අපේක්ෂා කරනු ලබයි. යෝජිත ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස නැගී එන ක්‍රීඩකයින්ගේ දක්ෂතා තවදුරටත් තාක්ෂණානුකූලව වැඩිදියුණු කිරීමට සහ ඔවුන්ට දෛනික පුහුණු කටයුතුවල යෙදීමට හැකි වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා සංකීර්ණ යොදා ගැනීමට සැලසුම් කර ඇත. එම ක්‍රීඩා සංකීර්ණ වඩාත් ඵලදායීව භාවිත කරමින්, පුළුල් සේවාවක් ලබා දීමට හැකි වන පරිදි ඒවායේ සංවර්ධනය හා පරිපාලනය විධිමත් කිරීම, නඩත්තුව සහ ආරක්ෂාව සඳහා එක් එක් ක්‍රීඩා සංකීර්ණය සඳහා ස්වේච්ඡාවෙන් කටයුතු කරනු ලබන සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත කළමනාකරණ මණ්ඩලයක් බැගින් පිහිටුවීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරඳමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් කෙටිකාලීන වගාවන් වෙනුවෙන් ගොවීන්ට සහන සැලසීම පිණිස අවශ්‍ය උපදෙස් අයවැය චක්‍රලේඛ අංක 08/2025 සහ 08/2025(i) මඟින් මේ වන විට නිකුත් කරනු ලැබ ඇත. අපනයන කෘෂිකර්ම ක්ෂේත්රයේ ආර්ථිකමය වැදගත්කම සැලකිල්ලට ගෙන, ආපදාවෙන් හානි වූ දිගුකාලීන අපනයන කෘෂි බෝග නැවත වගා කිරීම සඳහා ද සහන සැලසීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, ආපදාවෙන් හානි වූ ගම්මිරිස්, කෝපි සහ කරඳමුංගු නැවත වගා කිරීම සඳහා හෙක්ටයාරයකට උපරිම වශයෙන් රුපියල් 425,000/-ක දීමනාවක් එම වගාවන්හි නිරත ගොවීන්ට ගෙවීම සඳහාත්, එම වගාවන්හි පාළු සිටුවීමට සහ නැවත වගාවට අවශ්‍ය පැළ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩසටහන් මඟින් නොමිලයේ ලබා දීම සඳහාත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2026 වර්ෂය සඳහා ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය (අමු, වියළි සලාක සහ වෙනත්) ප්‍රසම්පාදනය
- 2026 වර්ෂය සඳහා ත්‍රිවිධ හමුදාව වෙත ආහාර ද්‍රව්‍ය (අමු, වියළි සලාක සහ වෙනත්) ප්‍රසම්පාදනය කිරීම වෙනුවෙන් ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ප්‍රසම්පාදන පැකේජ 1,219ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රසම්පාදන පැකේජ 454ක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ප්‍රසම්පාදන පැකේජ 242ක් වෙනුවෙන් ලංසුකරුවන් 34දෙනෙකු විසින් ලංසු 5,274ක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
