රජයේ රෝහලක ප්‍රථම වරට ආහාර දෙපාර්තුමේන්තුවක් අරඹයි

රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ නියමු ව්‍යාපෘතිය හෙට (06) මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කෙරේ...

by Staff writer 05-01-2026 | 4:53 PM

COLOMBO (News 1st) - 

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති අතර, එහි නියමු ව්‍යාපෘතිය හෙට (06) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ දී  ආරම්භ කිරීමට නියමිතය.

තනි පිඟානකට හොදි, එළවළු. මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට‍: බත්, එළවළු,මැල්ලුම්, මස්, මාළු, බිත්තර, යනාදිය වෙන වෙන ම බෙදා තිබෙන ප්‍රියමනාප පිඟානක (Customise Plate) අදාළ ආහාර වේල රෝගියාට පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගය වේ.  එබඳු පිඟානකට බෙදූ ආහාර වේලක් දුටු සැණින් රෝගියාට ආහාර ගැනීමට රුචියක්, ප්‍රියතාවක් ඇති වන බව විෂයට අඳාළ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

මේවන විට මහරගම අපේක්ෂා රෝහල තුළ එකවර 2000 කට ආහාර පාන සැකසීම සදහා අංග සම්පූර්ණ නවීන පහසුකම්වලින් සපිරි මුළුතැන්ගෙයක් රෝහලේ සකස් කර ඇති අතර එම මුළුතැන්ගෙය ද හෙට දිනයේ දී  විශේෂ වැඩපිළිවෙළට සමගාමීව විවෘත කෙරේ.

රෝහලේ මුළුතැන්ගෙය, කුස්සිය හෙවත් ‘kitchen’ යන නාමය වෙනුවට ආහාරපාන දෙපාර්තමේන්තුව (Food and Beverages Department) ලෙස මෙහි පරිවර්තනය කර ඇත. නවීන ආකාරයට ආහාර පාන සැකසීම සහ පිළිගැන්වීමට ඒ සදහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ද ලබා දී තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ පාලන අධිකාරිය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ මූලිකත්වයෙන්  ක්‍රියාත්මකවන මෙම විශේෂ වැඩසටහනට රුහුණු මහා කතරගම දේවාලය, ශ්‍රී ලංකා යුධ හමුදාව, ලේඩි ජේ ආයතනය, හයිඩ්‍රාමනි ආයතනය සහ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලය එක්ව සහයෝගීතාවය ලබා දෙනු ලබයි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳවකළ විමසීමේ දී මහරගම අපේක්ෂා රෝහලේ මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී මෙන්ම සම්භන්ධීකාරක වශයෙන් කටයුතුකරන පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍ය සජිත මල්ලවආරච්චි මහතා අදහස් දක්වමින් පෝෂණ ගුණයෙන් සපිරි මෙන්ම රෝගීන්ට ප්‍රියමනාප ආහාර වේලක් ලබා දීම ඉතාම වැදගත් වන බවත්, නිසි පෝෂණයෙන් සපිරි ආහාර වේලක් මගින් රෝගීන්ට ඇතිවන සංකූලතා බොහෝමයක් අවමකර ගැනීමට ද හැකියාව ලැබෙන බවත් පැවසීය.

ගෙදරින් ගෙන එන ලද ආහාර වේලට සමාන හෝ ඊට ඉහළින් තැබිය හැකි ප්‍රමාණාත්මක, රසවත් සහ ඊට වැඩි පෝෂණ අතිරේකයකින් සමන්විත ගුණාත්මක ආහාර වේලක් ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රමුඛතම අරමුණ වන බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන්කර සිටියේය.

මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා රජයේ රෝහල්වලට ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අදහස්කර ඇති බවත් ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.