.webp)

COLOMBO (News 1st) - පළමු වැනි සහ 6 වැනි ශ්‍රේණි හැර, සෙසු සියලු ශ්‍රේණි සඳහා පළමු පාසල් වාරය හෙටින් (05) ආරම්භ වේ.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, පාසල් පිරිසිදු කිරීම් ඇතුලු වැඩසටහන් රැසක් අදත් සිදු කෙරෙන බවය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ සහ පළමු ශ්‍රේණියේ සිසුන් සදහා පළමු පාසල් වාරය හෙට (05) ආරම්භ වන්නේ නැත.
6 ශ්‍රේණියේ පළමු පාසල් වාරය, ලබන 21 වැනිදා ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන ලදි.
පළමු ශ්‍රේණියේ සිසුන් හඳුනා ගැනීම පමණක් හෙට (04) සිට සිදු වේ.
පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් පළමු පාසල් වාරය විධිමත්ව ආරම්භ වන්නේ, ලබන 29 වැනිදාය.
මේ අතර, පාසල් වල අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් ද, නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ඒ අනුව ගුරුවරයෙකු සතියකට ආවරණය කළ යුතු මුලු කාලපරිච්ඡේද සංඛ්‍යාව, 35ක්.
ඉන් කාර්යබද්ධ නිදහස් කිරීම් වලදී හැර ගුරුවරයෙකු අවම වශයෙන් සතියකට කාල පරිච්ඡේද 28 ක්, ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත විය යුතුය.
අධීක්ෂක ගුරුවරුන්, අවම වශයෙන් සතියකට කාල පරිච්ඡේද 14 ක් ඉගැන්වීම් කළ යුතු වේ.
සහකාර විදුහල්පතිවරුන්, ඉගැන්වීම් කළ යුතු කාල පරිච්ඡේද සංඛ්‍යාව, 10ක්.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, නියෝජ්‍ය විදුහල්පතිවරුන් ද, සතියකට කාල පරිච්ඡේද 8 ක් ආවරණය කළ යුතු බවය.
මේ අතර, මුස්ලිම් පාසල් කාල සටහනේ ද, සංශෝධනයක් කර තිබේ.
ඒ අනුව සඳුදා දිනවල සුපුරුදු පරිදි උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා මුස්ලිම් පාසල් පැවැත්වෙනු ඇත.
අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා මුස්ලිම් පාසල් අවසන් වන්නේ, පස්වරු 2.15 ටයි.
එම දිනවල ආගමික වතාවත් සඳහා දහවල් 12.30 සිට 12.45 දක්වා කාලය ලබාදේ.
සිකුරාදා දින පමණක්, ආගමික වතාවත් ඉටු කිරීම සදහා දේවස්ථාන කරා යාම වෙනුවෙන් පෙරවරු 11.15 ට පාසල් අවසන් වේ.
එදින මුස්ලිම් පාසල්වල ක්‍රියාත්මක වන්නේ, කාලපරිච්ඡේද 4 ක් පමණය.
