වෙනිසියුලානු ජනපති අමෙරිකාවේ ග්‍රහණයට

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිය ග්‍රහණයට ගත් බව ඇමෙරිකානු ජනපති කියයි. - විදෙස් මාධ්‍ය

by Staff writer 03-01-2026 | 3:29 PM

COLOMBO(News1st) - වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මාධුරෝ සහ බිරිඳ සිය භාරයට ගත් බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සිය ටෘත් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කළේ, වෙනිසුවෙලාව ඉලක්ක කර එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවකින් අනතුරුව ජනාධිපතිවරයා සහ බිරිඳ සිය භාරයට ගත් බවයි.

අනතුරුව ඔවුන් රටින් පිටුවහල් කළ බව ද, අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

වෙනිසියුලාවේ කැරකාස් අගනුවර ඉලක්ක කර, එරට වේලාවෙන් අද(03) උදෑසන අමෙරිකාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේ ය.

ඒ සමගම, වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණ අතර ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් වෙනිසියුලා ජනාධිපතිවරයා සදහන් කළේ, සිය රටේ තෙල් සහ ඛනිජ සම්පත් අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් අමෙරිකාව ප්‍රහාර එල්ල කරන බවයි.

වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු වේලාවෙන් පෙරවරු 11ට මාධ්‍ය හමුවක් කැඳවා නිල ප්‍රකාශයක් කරන බව ද, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ය.