6 වසර ඉංග්‍රීසි මොඩියුල ගැටලුව ගැන විමර්ශන ඇරඹේ..

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුව පිළිබඳ, CID විමර්ශන ඇරඹෙයි..

by Staff writer 02-01-2026 | 7:49 AM

COLOMBO (News 1st) - 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයකට, නුසුදුසු වෙබ් අඩවියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව පැවසුවේ, අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අමාත්‍යංශයට පැමිණ, එම පරික්ෂණ ආරම්භ කළ බවය.

ඒ අනුව 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයේ ඇති නුසුදුසු වෙබ් අඩවිය පැවති කොටස ඉවත් කර, සිසුන් වෙත බෙදා හැරිමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ ය.

මේ අතර, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ, තාවකාලිකව සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට සහය දැක්වීම සඳහාය.

මේ අතර, 2026 වසරට අදාළව පාසල් පෙළ පොත් බෙදා හැරීම ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ, කලාප මට්ටමින් මේ වන විට බෙදා හැරිම් ආරම්භ කර ඇති බවය.

ඒ අනුව සියලුම පෙළපොත් පරික්ෂා කිරීමෙන් අනතුරුව බෙදා හැරීමට නියමිතව තිබේ.