ඉදිරි දිනවලදී පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉදිරි දිනවලදී පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්

by Staff writer 02-01-2026 | 7:18 PM

COLOMBO (News 1st) -  ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පැවතීම හේතුවෙනි.

කාලගුණ අණාවැකියේ දැක්වෙන්නේ,නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.

මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසයි.

බස්නාහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(02) පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.