2026 නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්!

2026 නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්!

by Staff writer 01-01-2026 | 7:33 AM

COLOMBO (News 1st) - පවතින අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින්, රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සමඟ නොසැලෙන අදිටනින් සහ විශ්වාසයෙන් යුතුව සහෝදරත්වයෙන් අත්වැල් බැදගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඒ 2026 නව වසරට සුබ පැතුම් එක් කරමිනි.

රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට සහ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යකට පසුගිය කාලවකවානුවේ මුහුණ දුන් බව ජනාධිපතිවරයා පැවසුවේ ය.

ගෙවුණු 2025 වසර ජාතික අභිලාෂ මත පදනම් වූ තිරසාර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසර බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලබයි.

වසර 48 කට පසු අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගැනීම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17ක් ඉක්මවීම පසුගිය වසරේදී කැපීපෙනන අංගයන් බව ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ පෙන්වා දී ඇත.

එමෙන්ම මෙරට ඉතිහාසයේ රාජ්‍ය ආදායම් ඉලක්ක අභිබවා ගිය එකම වසර බවත්  මෑත ඉතිහාසයේ සංචාරකයින් වැඩිම ප්‍රමාණයක් මෙරටට පැමිණි වසර බවට පත්වීමත්  2025 වසරේ ළඟා කර ගත් සුවිශේෂී ආර්ථික ජයග්‍රහණයන් අතරට ඇතුළත් වේ.

රටම එකට ජාතික මෙහෙයුම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් 2025 වසර මෙරට දේශපාලන සහ සමාජ පරිවර්තනයක හැරවුම් වසරක් ලෙස ද සනිටුහන් වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලබයි.