ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇඟවීමක් !

ගාසා තීරයේ, හමාස් සංවිධානය අවි බිම තබා නිරායුධ වීමට එකඟ නොවුණහොත් ඔවුන්ට බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනවා! - ඩොනල්ඩ් ට්‍රම්ප්

by Staff writer 30-12-2025 | 6:25 AM

COLOMBO (News 1st) - ගාසා තීරයේ හමාස් සංවිධානය අවි බිම තබා නිරායුධ වීමට එකඟ නොවුණහොත් ඔවුන්ට බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

හමාස් සංවිධානය ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පිළිබඳව අමෙරිකානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම වෙනුවෙන් ඊයේ (29) ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අමෙරිකාවට පැමිණියේ ය.

හමුව පැවැත්වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසනයක් වන ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි "මරලාගෝ" නිවාඩු නිකේතනයේදී ය.

ඊයේ (29) අමෙරිකානු ජනාධිපතිවරයා එම නිවස්නයේදීම යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කිද හමුවීමත් විශේෂත්වයක් වේ.

ඊශ්‍රායල - අමෙරිකාව සාකච්ඡා වලින් පසුව පැවති මාධ්‍ය හමුවේදී, බෙන්ජමින් නෙතන්යාහු වීරයෙකු බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ඊශ්‍රායල අධිකරණ හමුවේ නෙතන්යාහුට එරෙහිව  විභාග වන අල්ලස් සහ වංචා නඩු වලින් ඔහුව නිදහස් කිරීම සඳහා, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් විසින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති සමාව ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන ලදි.

මාස 11 කට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත බලයට පත්වීමෙන් පසු ඔහු ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හමුවූ හයවෙනි අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක් වේ.

ඊශ්‍රායල - හමාස් යුද්ධය ආරම්භයේ සිටම, අමෙරිකාව අඛණ්ඩව ඊශ්‍රායලයට සහය පල කල අතර මේ වන විට අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඇතිකරගත් තාවකාලිකව සටන් විරාමයක් ගාසා තීරයේ ක්‍රියාත්මක වේ.