ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි, ෆ්ලොරිඩාහිදී හමුවෙයි..

ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි, ෆ්ලොරිඩාහිදී හමුවෙයි..

by Staff writer 29-12-2025 | 9:49 AM

COLOMBO (News 1st) - රුසියානු -යුක්‍රේන යුද්ධය අවසන් කිරීම පිළිබඳව නිල කාල රාමුවක් ලබා දිය නොහැකි වුවද, යුක්‍රේන ජනාධිපතිවරයා සමග අද (29) පැවැත්වූ සාකච්ඡා ඉතාම ඵලදායි සහ ධනාත්මක ස්වරුපයක් ගත් බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ද්වි පාර්ශවික සාකච්ඡා වෙනුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙරට වේලාවෙන් අද අළුයම් කාලයේදී යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි හමුවිය.

ඒ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාම් බීච්හී පිහිටි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නිවාඩු නිකේතනයක් වන මරා-ලා-ගෝ නිවස්නයේදී ය.

අවශ්‍ය නම්, තමන් පෞද්ගලිකව යුක්‍රේන ගොස් යුක්‍රේන පාර්ලිමේන්තු සභිකයින් මුණගැසීමට පවා සූදානම් බව, ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

2022 වසරේ පෙබරවාරි 24 වැනිදා රුසියානු හමුදා යුක්‍රේන ආක්‍රමණය කළ අතර, වසර තුනකට වැඩි කාලයක් පැවති යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව පසුගියදා කරුණු 20ක සාම සැලැස්මක් ඉදිරිපත් කළේ ය.

අදාළ සාම සැලැස්මේ ඇතුලත්, ඩොන්බාස් කලාපයේ අයිතිය සහ යුක්‍රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම ඇතුළු කරුණු පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීමට මේ වන විට රාජ්‍ය නායකයින් උත්සාහ දරමින් සිටී.

අද අමෙරිකානු සහ යුක්‍රේන රාජ්‍ය නායකයින් ද්වි පාර්ශවික හමුවෙන් අනතුරුව යුරෝපා නායකයින් සමග පැයක පමණ කාලයක් දුරකථන සාකච්ඡාවකද නිරත වුණි.

බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මානු, ඉතාලි, පෝලන්ත සහ නෝර්වේ යන රටවල නායකයින් මෙන්ම නේටෝ සංවිධානයේ මහලේකම්වරයා සහ යුරෝපා කොමිසමේ සභාපතිනිය ඊට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම දුරකතන සාකච්ඡාවෙන් පසු, ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි ජනාධිපතිවරුන් ඒකාබද්ධ මාධ්‍ය සකච්ඡාවකටද එක්වුණි.

අද යුක්‍රේන ජනාධිපතිවරයා, ෆ්ලොරීඩා ප්‍රාන්තයට පැමිණීමට පැය කිහිපයකට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං සමගද දුරකථන සාකච්ඡාවක නිරතවී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.