අමාත්‍ය මණ්ඩල තීරණ...

අමාත්‍ය මණ්ඩල තීරණ...

by Staff Writer . 23-12-2025 | 4:23 PM

COLOMBO (News 1st) - අමාත්‍ය මණ්ඩල තීරණ...

දේශීය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා උපදේශක සභා පිහිටුවීම

- කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනයේ ප්‍රතිපත්තිමය ගැටලු අවම කිරීමේ අරමුණින් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි උපදේශක සභා 20ක් මේ වන විට පිහිටුවා ඇත. එම උපදේශක කමිටු මඟින් ආවරණය නොවන තවත් විශේෂිත කර්මාන්ත ක්ෂේත්‍ර 07ක් සඳහා උපදේශක කමිටු පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, රාජ්‍ය ආයතන, වාණිජ මණ්ඩල/සම්මේලන, විද්‍යායතන (විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන) සහ අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂඥයින් නියෝජනය වන පරිදි 25දෙනෙකුට නොවැඩි සාමාජික සංඛාවකින් සමන්විතව පහත දැක්වෙන කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා උපදේශක කමිටු පිහිටුවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

දේශීය ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය
රස කැවිලි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය
සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය
කුකුළු මස් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය
විසිතුරු මසුන් හා මුහුදු පැළෑටි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය
නිර්මාණාත්මක කලා ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය
ඉසව් කළමනාකරණ ක්ෂේත්‍රය


ශ්‍රීපාද අධිසංවේදී පාරිසරික කලාපය තුළ පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම

- ශ්‍රීපාද වන්දනා සමය සෑම වසරකම දෙසැම්බර් මාසයේ ආරම්භ වී මාස 06ක කාලයක් පවතින අතර එම කාලය තුළ එහි පැමිණෙන වන්දනාකරුවන් සහ අනෙකුත් පුද්ගලයින් විසින් බැහැර කරනු ලබන දිරන සහ නොදිරන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රදේශය තුළ එක්රැස් වීම සිදු වේ. ශ්‍රීපාද අඩවිය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත මඟින් ආවරණය වන අධිසංවේදී කලාපයක් වන අතර, එම ප්‍රදේශය තුළ කසල කළමනාකරණය කාලීන අවශ්‍යතාවයක් ව පවතී. ඒ අනුව, ශ්‍රීපාද වන්දනා සමය තුළ එකී ප්‍රදේශයේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම උදෙසා 2025 වසරේ සිට පරිසර අමාත්‍යාංශය විසින් පහත සඳහන් පියවර අනුගමනය කරනු ලබන බව පරිසර අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී:

මේ වන විටත් තහනමට ලක් කර ඇති පොලිතින් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන (ලන්ච් ෂීට් ආදිය), අධි ඝනත්වයෙන් යුත් පොලිඑතිලීන් මඟින් නිෂ්පාදිත බහාලුම් (සිලිසිලි මලු), සැෂේ පැකට්, ප්‍රසාරිත පොලිස්ටයිරින්වලින් නිෂ්පාදිත තනි-භාවිත ආහාර බහාලුම්, තනි-භාවිත බීම බට, කලතන, තනි-භාවිත පිඟන්කෝප්ප, හැඳි, ගෑරුප්පු හා පිහි මෙම ප්‍රදේශය තුළ විකිණීම හෝ වන්දනාකරුවන් විසින් රැ‌‌ගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කිරීම.
ලීටරයට අඩු තනි-භාවිත ප්ලාස්ටික් ජල බෝතල් හා බීම බෝතල් රැගෙන යාම තහනම් කිරීම.
පොලිතින් ආවරණ සහ ඇසුරුම් සහිත ආහාරපාන, ඖෂධ හෝ අනෙකුත් බඩුභාණ්ඩ කිසිවක් පාරිසරික අධිසංවේදී කලාපය තුළ බැහැර කිරීම තහනම් කිරීම.
පාරිසරික අධිසංවේදී කලාපය තුළ ඇති ව්‍යාපාරික ස්ථාන විසින් අලෙවි කරන ප්ලාස්ටික් ආවරණ සහිත ආහාරපාන හෝ වෙනත් වෙළෙඳ භාණ්ඩ අලෙවියෙන් පසු ජනනය වන අපඅද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වගකීම අදාළ වෙළෙඳසල් හිමියන් වෙත පැවරීම.
ජල උල්පත් හා ජල මාර්ග අපවිත්‍ර කිරීම සහ එම ස්ථානවලට පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කිරීම.
අලෙවිසල් ඉදිකිරීමේදී සහ පවත්වාගෙන යාමේදී ඒකරාශී වන පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස එකතු කර ශ්‍රීපාද අධි සංවේදී කලාපයෙන් බැහැරට ගෙනවිත් අදාළ නගර සභා හෝ ප්‍රාදේශීය සභා හරහා අවසන් බැහැර කිරීමේ වගකීම ඒ ඒ අලෙවිසල් හිමියන් වෙත පැවරීම.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහන 2025/26 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම

- විවිධ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා මතුවන සිසුන්ට අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක 'සුරක්ෂා' සිසු රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමඟ ගිවිසුම්ගත වී ඇත. එමඟින්, රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් ලක්ෂ 40කට පමණ සෞඛ්‍ය රක්ෂණාවරණය, අනතුරු රක්ෂණාවරණය සහ ජීවිත රක්ෂණාවරණය යන කාණ්ඩ යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගනු ලැබ ඇති ගැටලු ද සැලකිල්ලට ගෙන, පහත සඳහන් සංශෝධන ඇතුළත් කරමින් 'සුරක්ෂා' සිසු රක්ෂණාවරණ වැඩසටහන 2025/26 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගනු ලබන බවට සහ ඒ අනුව, අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට කටයුතු කරන බවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී:

2025/26 වර්ෂයට අදාළව 'සුරක්ෂා' සිසු රක්ෂණාවරණ වැඩසටහන 2026‑08‑31 දින දක්වා ක්‍රියාත්මක කිරීම.
දෙමාපිය මරණ ප්‍රතිලාභය ලබා දීමේදී සලකා බලනු ලබන අඩු ආදායම්ලාභී කාණ්ඩයේ වාර්ෂික ආදායම රුපියල් 180,000/- සිට රුපියල් 240,000/- ලෙස සංශෝධනය කිරීම.
කොඳුඇටපෙළ විකෘති වීම නිවැරදි කිරීම සඳහා පළඳින උපාංගය (Scoliosis Brace) සඳහා සහ කර්ණශංඛ උපකරණ (Cochlea Equipment) සඳහා රුපියල් 75,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබා දීම.
අසාධ්‍ය රෝග කාණ්ඩයට අයත් රෝග සඳහා සහ තවත් හඳුනාගත් රෝග 07ක් සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන්ට රුපියල් 20,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබා දීම.
අසාධ්‍ය රෝග කාණ්ඩය සඳහා Pneumothorax, Encephalitis, Thalassemia, Hereditary spherocytosis සහ Sickle cell anemia යන රෝග 5 අලුතින් එක් කිරීම.
2025‑09‑01 දින සිට ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන හිමිකම් අයදුම්පත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයක් වෙත බාර දීමට අවස්ථාව සැලසීම.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා ජාතික පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි ඉදිකිරීම් නිම කිරීම

- පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා නව ජාතික පාසලක් ඉදිකිරීම සඳහා 2015-09-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ යටතේ Block 01 සහ Block 02 වශයෙන් ගොඩනැගිලි සංකීර්ණ 02ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. Block 01 ගොඩනැගිලි සංකීර්ණය ඉන්දීය රජයේ ප්‍රදානයක් වශයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීම මත සහ Block 02 ගොඩනැගිලි සංකීරණය ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ එවකට පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කර ඇත. රට තුළ පැවති ආර්ථික අර්බුදය හමුවේ Block 02 ‌ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අත්හිටුවා අදාළ කොන්ත්‍රාත්තුව අවසන් කර තිබේ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීම මත අදාළ විෂය පථය සංශෝධනය කර ඇති අතර, Block 01 ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහලේ වැඩ අවසන් කිරීමෙන් අනතුරුව ඉහළ මහලේ වහලය දක්වා ඉදිකිරීම් සිදු කර, එම ගොඩනැගිලි සංකීර්ණය 2025‑10‑31 දින ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට පියවර ගෙන ඇත. Block 01 ගොඩනැගිලි සංකීර්ණයේ තවදුරටත් නිම කළ යුතු වැඩ අවසන් කිරීම සඳහා ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරු ආයතනය වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් රුපියල් මිලියන 199.13ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, එකී ඇස්තමේන්තුව මත පදනම්ව එම ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ නිම කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත වෑල්ව රහිත හිස් එල්.පී.ජී. සිලින්ඩර සැපයීමේ ප්‍රසම්පාදනය

- ලිට්‍රෝ ගෑස් සමාගම විසින් 2025‑2027 කාලසීමාව සඳහා වෑල්ව රහිත හිස් එල්.පී.ජී. සිලින්ඩර වර්ග 04ක් මිල දී ගැනීම පිණිස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 06ක්  ඉදිරිපත් වී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය මත පදනම්ව ලිට්‍රෝ ගෑස් සමාගම වෙත කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩර 120,000ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර 185,000ක්, කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර 450,000ක් සහ කිලෝග්‍රෑම් 37.5 සිලින්ඩර 7,000ක් සැපයීමේ ප්‍රසම්පාදනය සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. Sahamitr Metal Pressure Containers Public Co. Ltd වෙත පිරිනැමීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ 07, ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක් සහිත නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම

- අතරමග නැවතී තිබූ කොළඹ 07, ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක් සහිත නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස 2024‑12‑30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලංසු කැඳවන ලදු ව ලංසු 05ක් ලැබී ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව කොළඹ 07, ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක් සහිත නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සීමාසහිත සතුට බිල්ඩර්ස් (පුද්ගලික) සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


කොළඹ කොටුව, චැතම් වීදියෙහි පිහිටි ඉඩම් කොටසක් 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම

- කොළඹ කොටුව, චැතම් වීදියෙහි පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු රූඩ් 02 පර්චස් 14.7ක ඉඩම් කොටසක් 99 අවුරුදු බදු පදනම මත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2024 වර්ෂයේදී ආයෝජන යෝජනා කැඳවීමට කටයුතු කරනු ලැබ ඇතත්, ඒ සඳහා කිසිදු ආයෝජකයෙකු ඉදිරිපත්ව නොමැත. එබැවින්, ප්‍රශස්ත භාවිතයක් මඟින් මෙරට ආර්ථික සංවර්ධනය සඳහා දායකත්වයක් ලබා දීමේ අරමුණින් එකී ඉඩම් කොටස සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයන් වෙතින් නැවත සංවර්ධන යෝජනා කැඳවීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත. ඒ අනුව, එකී ඉඩම් කොටස, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වසර 99ක කාලයකට බදු පදනමින් ලබා දීමට හැකි වන පරිදි රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කිරුළපන, කොළඹගේ මාවතේ නිවාස ඒකක 615ක් සහිත නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම

- අතරමග නැවතී තිබූ කිරුළපන, කොළඹගේ මාවතේ නිවාස ඒකක 615ක් සහිත නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම පිණිස 2024‑12‑30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලංසු කැඳවන ලදු ව ලංසු 04ක් ලැබී ඇත. එකී ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


මරුවැල් පන්න නම් වූ ධීවර පන්න ක්‍රමය සඳහා ඇම වශයෙන් යොදාගන්නා වේක්කයා මසුන් ආනයනය සඳහා බදු සහන ලබා දීම

- ගැඹුරු මුහුදේදී ටූනා විශේෂයට අයත් මසුන් ඇල්ලීම සඳහා බහුදින යාත්‍රා හිමියන් විසින් මරුවැල් පන්න නම් වූ පන්න ක්‍රමය භාවිතා කරනු ලබයි. ඒ සඳහා ඇම වශයෙන් දැල්ලන් හා වේක්කයා, සාලයා, පියාමැස්සා වැනි කුඩා මසුන් භාවිතා කරනු ලැබේ. මත්ස්‍ය සම්පත තිරසර ලෙස පරි‌භෝජනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් මරුවැල් පන්න ක්‍රමය භාවිතයෙන් අල්ලා ගනු ලබන මසුන් ඉහළ ප්‍රමිතියකින් යුක්ත වන බැවින් ඒ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉහළ මිලක් පවතී. මෙරට බහුදින ධීවර යාත්‍රා 2,200ක් පමණ මරුවැල් පන්න ක්‍රමය භාවිතා කරන අතර, ඒ සඳහා වාර්ෂිකව ඇම මසුන් මෙට්‍රික්ටොන් 8,000ක් පමණ අවශ්‍ය කෙරේ. එහෙත්, එම ප්‍රමාණයෙන් දේශීයව සපයා ගැනීමට හැකියාව පවතිනුයේ මෙට්‍රික්ටොන් 4,000ක් පමණ වූ ප්‍රමාණයකි. එබැවින්, පුද්ගලික අංශයේ සහාය ඇතිව ඉදිරියේදී ඇම සඳහා වේක්කයා මසුන් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එම දේශීය නිෂ්පාදන භාවිතයට ගත හැකි වන තෙක්, වේක්කයා මසුන් ආනයනය කිරීමේදී තීරුබදු සහනයක් ලබා දීම සම්බන්ධයෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, වේක්කයා මසුන් ආනයනය කිරීමට අදාළව නව සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයක් හඳුන්වා දී ලියාපදිංචි ධීවර සමිති හරහා අවශ්‍ය වේක්කයා මසුන් ආනයනය කිරීමටත්, දැනට ක්‍රියාත්මක තීරු බදු ක්‍රමවේදය වෙනුවට ආනයනය කරනු ලබන වේක්කයා මසුන් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 180/-ක             විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දී එම බද්දෙන් රුපියල් 130/-ක බදු සහනයක් වේක්කයා මසුන් ආනයනය කරනු ලබන ධීවර සමිති වෙත ලබා දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.


2026-2030 කාලය සඳහා යුනිසෙෆ් ගෝලීය සැපයුම් ඒකකය මඟින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන වෙත එන්නත් ප්‍රසම්පාදනය කිරීම

- ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුකූලව උසස් තත්ත්වයේ එන්නත් සාධාරණ මිලකට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන විසින් කටයුතු කරනු ලබයි. එම වැඩසටහන මඟින් රෝග 11ක් වැළැක්වීම සඳහා වාර්ෂිකව ආසන්න වශයෙන් ළමුන් මිලියන 1.5කට සහ ගර්භණී මව්වරුන් ලක්ෂ 3කට පමණ එන්නත් ලබා දීම සිදු කෙරේ. එම ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රසම්පාදනය කිරීම සඳහා එන්නත්කරණය සහ ප්‍රතිශක්තිකරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ (Global Alliance for Vaccines and Immunization) සහාය 2000 වර්ෂයේ සිට ලබා දී තිබේ. එමෙන්ම, එකී සන්ධානය 2023 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා ඒකාබද්ධ ප්‍රසම්පාදන ක්‍රමවේදයක් මඟින් යුනිසෙෆ්හි ගෝලීය සැපයුම් අංශය හරහා එන්නත් ප්‍රසම්පාදනය කිරීමට හැකි වන පරිදි මූල්‍යාධාර ලබා දීම ද සිදු කර තිබේ. තනි රටක් විසින් සිදු කරනු ලබන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මෙන් නොව, යුනිසෙෆ්හි ගෝලීය සැපයුම් අංශය මඟින් ප්‍රසම්පාදිත එන්නත් ලබා ගැනීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත සහ පූර්ව සුදුසුකම්ලත් එන්නත් අඩු මිලට ලබා ගැනීමට හැකි වන අතර, එමඟින් වැඩි සැපයුම් සුරක්ෂිතතාවක් තහවුරු වේ. එමෙන්ම, එන්නත් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට, එන්නත් නිසි පරිදි කාලානුරූපව බෙදා හැරීමට සහ ඵලදායී ප්‍රසම්පාදන පිළිවෙත් අනුගමනය කිරීමට ද එමඟින් හැකියාව ලැබේ. ඒ අනුව, 2026‑2030 කාලය සඳහා යුනිසෙෆ්හි ගෝලීය සැපයුම් අංශය මඟින් ප්‍රතිශක්තිකරණ එන්නත් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන වෙත ප්‍රසම්පාදනය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


සෞඛ්‍ය සේවා ආයතනවල දැනට අතරමග අත්හිටුවා ඇති ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු නිම කිරීම

- කොවිඩ්-19 වසංගතය සහ ඊට පසුව උද්ගත වූ ආර්ථික අර්බුදය හේතුවෙන් එවකට පැවති මහා පරිමාණ ව්‍යාපෘති නැවත ක්‍රමෝපායකරණ සහ වේගවත් කිරීමේ කමිටුවේ (RAMP) නිර්දේශය පරිදි සෞඛ්‍ය සේවා ආයතනවල සිදු කරමින් පැවති ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් අත්හිටුවීමට පියවර ගෙන තිබේ. දැනට පවතින සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සහ වැඩි වන සෞඛ්‍ය සේවා ඉල්ලුම පිළිබඳව සැලකිල්ලට ගනිමින් විවිධ ඉදිකිරීම් අදියරයන්හි පවතින එකී ව්‍යාපෘති සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව මේ වන විට හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, දැනට වැඩ අවසන් කර නොමැති පහත සඳහන් සෞඛ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති 08ක මුළු පිරිවැය ඇස්තමේන්තු සහ කාලරාමු සංශෝධනය කරමින්, ඒවායේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව

  •  අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
  • කෑගල්ල මූලික රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය
    සංශෝධිත මුළු පිරිවැය ඇස්තමේන්තුව (රුපියල් මිලියන) - 2,095.58
    ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය - 2029‑12‑31
  • හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීම
    සංශෝධිත මුළු පිරිවැය ඇස්තමේන්තුව (රුපියල් මිලියන) - 1,266.38
    ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය - 2028‑12‑31
  • හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය
    සංශෝධිත මුළු පිරිවැය ඇස්තමේන්තුව (රුපියල් මිලියන) - 4,057.96
    ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය -2030‑12‑31
  • රත්නපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ප්‍රතිකාර ගොඩනැගිල්ල ඉදිකිරීම
    සංශෝධිත මුළු පිරිවැය ඇස්තමේන්තුව (රුපියල් මිලියන) - 3,543.77
    ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය - 2028‑12‑31
  • රාගම පුනරුත්ථාපන රෝහලේ නව සායන ගොඩනැගිල්ල ඉදිකිරීම
    සංශෝධිත මුළු පිරිවැය ඇස්තමේන්තුව (රුපියල් මිලියන) - 678.83
    ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය - 2028‑12‑31
  • කලුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මිලේනියම් වාට්ටුවේ මූලික ප්‍රතිකාර ඒකකය සහ අතුරු වෛද්‍ය සේවා ගොඩනැගිල්ල ඉදිකිරීම
    සංශෝධිත මුළු පිරිවැය ඇස්තමේන්තුව (රුපියල් මිලියන) - 1,245.50
    ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය - ව්‍යාපෘතිය 2024‑10‑30 දින වන විට සම්පූර්ණ කර ඇත.
  • කරාපිටිය ශික්ෂණ රෝහලේ මහල් 10කින් යුත් ශල්‍ය වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීම
    සංශෝධිත මුළු පිරිවැය ඇස්තමේන්තුව (රුපියල් මිලියන) - 2,070.12
    ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය -2028‑12‑31
  • පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකය සඳහා ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම
    සංශෝධිත මුළු පිරිවැය ඇස්තමේන්තුව (රුපියල් මිලියන) - 1,265.30
    ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය - 2028‑12‑31
  • '

තිරසර කෘෂි වැඩසටහන' කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම

- කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන තත්ත්වය සහ දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්ම අංශයෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් 'කුඩා පරිමාණ  කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන' (SAPP) ශ්‍රී ලංකා රජයේ සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක වේ. එම වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබයි. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන යටතේ ලබා දී ඇති ණයවල සියලුම අයකර ගැනීම් කෘෂිකාර්මික ණය ලබා දීම සඳහා වෙන් වූ 'තිරසර කෘෂි අරමුදල' යනුවෙන් නම් කරනු ලැබ ඇති චක්‍රීය අරමුදලකට යොමු කරනු ලැබේ. එකී අරමුදල භාවිත කරමින් කෘෂිකර්මාන්තයේ සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නියැලී සිටින පුද්ගලයන් සහ ආයතන සඳහා 'තිරසර කෘෂි වැඩසටහන' නමින් කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. තිරසර කෘෂි අරමුදලේ පවතින අරමුදල්වලින් රුපියල් මිලියන 800ක මුදලක් 'තිරසර කෘෂි වැඩසටහන' 2026 වසරේ ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කිරීමට අපේක්ෂිතය. ඒ අනුව, 'තිරසර කෘෂි වැඩසටහන' ණය යෝජනා ක්‍රමය සහභාගිත්ව මූල්‍ය ආයතන මඟින් 2026 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.