රට යළි ගොඩනැගීමට ලෝක බැංකුවෙන් හදිසි මූල්‍යාධාරයක්

දිට්වා සුළි කුණාටු ආපදාවෙන් ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 120 හදිසි ආධාර මුදලක්..

by Staff writer 15-12-2025 | 6:43 PM

COLOMBO (News 1st) - දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ මෙරට යළි ගොඩනැගීමට ලෝක බැංකුව හදිසි මූල්‍යාධාරයක් ලබා දීමට තීරණය කර ඇත.
 ලෝක බැංකුව සිදුකරන ව්‍යාපෘතිවලට යොමුකළ මුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 120ක මූල්‍යාධාරයක් එලෙස ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇත.

එම අරමුදල මගින් මෙරට දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවල සෞඛ්‍ය සේවා, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, අත්‍යවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත්කිරීම වේගවත් කිරීම සිදු වේ.

මේ අතර RE-BUILDING SRI LANKA අරමුදල නිර්මාණය කිරීම සහ මෙරට පසුකාලීන ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ඊළඟ අදියර ඇතුළුව පුළුල් ප්‍රතිසාධන සැලසුම් සම්බන්ධයෙන් ද ලෝක බැංකුව ශ්‍රී ලංකා රජය සමග සමීපව කටයුතු කරයි.

ලෝක බැංකුවට අමතරව ලෝක බැංකු සමූහයේ පෞද්ගලික අංශයේ අංශය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව, මෙරට පෞද්ගලික අංශය ශක්තිමත් කිරීමටද කටයුතු කරමින් තිබේ.

ඒ උපදේශන සේවා සහ උපායමාර්ගික ආයෝජන හරහාය.

ඒ හරහා මෙරට කෘෂිකර්මාන්තය, නිෂ්පාදන, සැපයුම් යන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම සිදුවනු ඇත.

මෙරට පෞද්ගලික අංශයේ රැකියා නිර්මාණය කිරීම සහ ආර්ථික නැවත යථා තත්වයට පත් කිරීම එහි අරමුණ වේ.