.webp)
-605542.jpg)
COLOMBO (News 1st) - පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහනාධාර රැගෙන සිරස - ශක්ති සහනා යාත්‍රාව අද(10) ගුවනින් බදුල්ල, නුවරඑළිය, මොණරාගල සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවට සහන ලබා දීම සදහා පිටත් විය.
ඒ, අමෙරිකානු ගුවන් හමුදාවට අයත් C-130 සුපර් හර්කියුලීස් ගුවන් යානයකින්.
සිරස මූලස්ථානයෙන් පිටත් වූ සිරස - ශක්ති සහන යාත්‍රා කණ්ඩායම, පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහනාධාර රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් C-130 සුපර් හර්කියුලීස් ගුවන් යානයෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලා අද උදෑසන ගමන් ආරම්භ කළේය.
ශ්‍රී ලංකාවේ 'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහය සැලසීම සඳහා අමෙරිකානු ගුවන් හමුදාවට අයත් 36 වන හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ ගුවන් භටයින් සහ C-130 සුපර් හර්කියුලිස් ගුවන් යානා 02ක් මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණියේය.
ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට මාර්ග පද්ධතියට සිදු වූ දැඩි බලපෑම් හේතුවෙන් ගුවනින් ගොස් එම ප්‍රදේශවල සිටින ජනතාවට සහය සැලසීම ඔවුන්ගේ අරමුණයි.
සිරස - ශක්ති සහනා යාත්‍රාවට ඔබ ලබා දුන් ආධාර පීඩාවට පත් ජනතාව වෙතටම ලබා දීම අරමුණු කරගන අද අප අමෙරිකානු ගුවන් හමුදාව සමග අත්වැල් බැඳගත්තේ මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සේවකයින් විසින් මෙහෙයවනු ලබන දැවැන්තම සහන වැඩපිළිවෙළ ලෙසය.
සතියකට වැඩි කාලයක් තිස්සේ, සිරස - ශක්ති සහනා යාත්‍රාව ගොඩබිමින්, ජලයෙන් සහ ගුවනින් ආධාර ලබා දුන්නේය.
සර්වෝදය ව්‍යාපාරය, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය ත්‍රිවිධ හමුදාව සියල්ල එකතු වී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ඉන්දියාවේ සහය ඇතිව හෙලිකොප්ටර් යානා මගින් ද මීට පෙර සිරස - ශක්ති සහන යාත්‍රාවෙන් අධාර බෙදා දුන්නේය.
C-130 ගුවන් යානය පැමිණීම පිළිබඳව අමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග් සඳහන් කළේ, ශ්‍රී ලංකාවට ඇතිවූ ආපදා තත්ත්වයෙන් බරපතල ලෙස පීඩාවට පත් ප්‍රදේශවලට අවශ්‍ය සහන ගුවනින් සැපයීම සඳහා මෙම ගුවන් යානා දෙක මෙරටට පැමිණි බවයි.
මෙම අභියෝගාත්මක කාලය තුළ අමෙරිකාව ශ්‍රී ලංකාව සමග සිටිමින් නැවත රට ගොඩනැගීමේ උත්සාහයන්ට සහාය වන බව ද ඇය සදහන් කළේය.
