.webp)
-605198.jpg)
COLOMBO (News 1st) - ආපදා හේතුවෙන් මෙරට වාරිමාර්ග පද්ධතියට සිදුවු හානිය රුපියල් මිලියන 13,000කට අධික බව වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් පවසයි.
ප්‍රධාන වාරි ව්‍යාපෘති රැසක, ප්‍රධාන ඇළ මාර්ග , අතුරු ඇළ මාර්ග හා කෙත් ඇළ මාර්ගවලට හානි සිදුව ඇති බව ඔහු සඳහන් කළේ ය.
මධ්‍ය පරිමාණ ජලාශ 70ක්, ඒ ආශ්‍රිත ඇළ වේලි හා වාන් දොරටු 88ක්, අමුණු 18ක් හා ඇළ මාර්ග 216 කට ආපදා තත්ත්වයෙන් හානිවී ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන ලදි.
මහ කන්නයේ කුඹුරු වගා කිරීම සඳහා එම හානි ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විටත් ආරමභ කර ඇති බව ඔහු සඳහන් කළේ ය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ රාජාංගනය ජලාශයේ දකුණු ඉවුරු ඇළ බිඳීගිය ස්ථානවලින් ප්‍රතිසංස්කරණය කර ජල නිකුත් කිරීම යළි ආරම්භ කළ බවයි.
ඇලහැර , මින්නේරිය යෝධ ඇලේ බැම්මේ කැඩිගිය කොටස් ප්‍රතිසංස්කරණය මේ වන විට ආරම්භ කර ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර ආපදා තත්ත්වයෙන් ගොවිජන සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් කුඩා වැව් 1160කට හානි සිදුව ඇත.
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග සඳහන් කළේ ඉන් 125 කට දැඩි හානි සිදුව ඇති බවය.
අර්ධ හානි සිදුව ඇති කුඩා වැව් සංඛ්‍යාව 747ක්.
වැඩිම කුඩා වැව් සංඛ්‍යාවකට හානි සිදුව ඇත්තේ අනුරාධපුර, වව්නියාව හා කුරුණෑගල දිස්ත්‍රික්කවලය.
එම වැව් ප්‍රමුඛතාව මත ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කරන ලදි.
