ආපදාවට ලක්වූවන්ට දෙන භාණ්ඩ ගැන පොලිස්පති කියූ දේ..

ආපදාවට ලක්වූන්ට රැගෙන යන භාණ්ඩ බලහත්කාරයෙන් පැහැර ගැනීම වලක්වන්නැයි පොලිස්පතිගෙන් උපදෙස්.

by Staff writer 06-12-2025 | 4:54 PM

COLOMBO(News1st) - ආපදාවට ලක්වූ පුද්ගලයින්ට ලබාදීමට රැගෙන යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ අතරමගදි බලහත්කාරයෙන් පැහැර ගැනීම වලක්වන්නැයි පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.

චක්‍රලේඛයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා එලෙස උපදෙස් දී ඇත්තේ, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙතයි.

පරිත්‍යාගශීලින් ලබාදෙන සහනාධාර අතරමග රැඳී සිටින පිරිස් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අතවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ දැනුම්දීමකට අනුව පොලිස්පතිවරයා එම පියවර ගෙන තිබේ.

ඒ අනුව අතරමගදි එම භාණ්ඩ බලහත්කාරයෙන් පැහැර ගැනීම වැලැක්වීමට පොලිස් වසම් තුල උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කල යුතු බව පොලිස්පතිවරයා අවධාරණය කර තිබේ.

එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වුවහොත් නොපමාව විමර්ශන සිදුකර ඊට අදාල තැනැත්තන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කල යුතු බවද පොලිස්පතිවරයා නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන් වේ.

විවිධ ප්‍රදේශවල සිට පැමිණෙන පරිත්‍යාගශීලින් ආපදාවට ලක්ව සිටින ජනතාව වෙත භාණ්ඩ බෙදාහැරීම් සිදුකිරීමේදී එය ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය සහාය නොමදව ලබාදිය යුතු බවද පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ.

මේ අතර අයහපත් කාලගුණයෙන් අවතැන්වු පුද්ගලයින්ට සහන සැලසීම සඳහා බෝට්ටුවක් රැගෙන කඩුවෙල ප්‍රදේශයට පැමිණි තරුණයෙකුට පහරදුන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, 38 හා 42 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

බලපිටියේ සිට පැමිණි අදාල තරුණයාට පහරදුන් බවට කල ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේද සංසරණය වූ අතර ඒ සම්බන්ධයෙන් අදාල තරුණයා පසුගිය තුන්වැනිදා අම්බලන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ද කර තිබේ.