CHEC Port City Colombo මධ්‍යම පළාතට.

CHEC Port City Colombo පැය 24ක් තුළ ආපදා සහන කටයුතු සඳහා යොදා ගන්නා යන්ත්‍ර මධ්‍යම පළාතට.

by Staff writer 04-12-2025 | 1:42 PM

COLOMBO(News1st) - සුළි කුණාටුවෙන් හානි වූ A5 මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට යන්ත්‍ර සූත්‍ර සහ විශේෂඥ කණ්ඩායම් යොදවයි.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවලට මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන්  CHEC Port City Colombo පුද්ගලික සමාගමේ සහාය පළ කර පැය 24ක් ඇතුළත එම කටයුතු වෙනුවෙන් ආපදා සහන යන්ත්‍ර සහ විශේෂඥ කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන තිබේ.

මීට සමගාමීව ‘Rebuilding Sri Lanka Fund’ සඳහා රුපියල් මිලියන 10ක මූල්‍යම පරිත්‍යාගයක් සහ  අඛණ්ඩ සහන මෙහෙයුම් සඳහා Port City Colombo ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායම සහ CHEC Port City Colombo පුද්ගලික සමාගමේ කලාපීය කාර්යාලය විසින් අමතර රුපියල් මිලියන 3ක මුදලක් රැස්කර පරිත්‍යාග කර  තිබේ.

ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩසටහන සඳහා සහාය වෙමින් පාලම් අළුත්වැඩියා කටයුතු, මාර්ග ප්‍රතිසංස්කරණය සහ ඉංජිනේරුමය තක්සේරු කිරීම් සඳහා විශේෂඥ තාක්ෂණික දැනුම ලබා දීමට CHEC Port City Colombo පුද්ගලික සමාගම කටයුතු කර ඇත.

මාර්ග පද්ධතිය යථාවත් කිරීම, බෑවුම් ශක්තිමත් කිරීම (slope stabilisation) සහ යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් කිරීම සඳහා, ඉදිකිරීමේ සඳහා යොදා ගන්නා යන්ත්‍ර 12ක් සහ පුහුණු තාක්ෂණික කණ්ඩායමක් මේ වන විටත් මධ්‍යම පළාතට යවා ඇති අතර මෙම යන්ත්‍ර  අතර කැණීම් යන්ත්‍ර, බැකෝ යන්ත්‍ර සහ ප්‍රවාහන ට්‍රක් රථ ඇතුළත් වේ.

මහනුවර සිට නුවරඑළිය දක්වා දිවෙන A5 මාර්ගයේ මෙම මෙහෙයුම් කටයුතු සිදු කෙරන අතර මෙම මාර්ගය සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ වැදගත් මාර්ග පද්ධතියකි. මෙම මාර්ගය අවහිර වී තිබීම හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල ජනතාවට හදිසි සහන සේවා සැපයීමේදි අභියෝගවලට මුහුණ දීමට සිදු විය.

CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ Xiong Hongfeng මහතා විසින් මෙම යන්ත්‍ර  නිල වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාර දෙනු ලැබූ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.