පාකිස්ථාන හිටපු අගමැතිගේ සෞඛ්‍යය ගැන අනාවරණයක්

බන්ධනාගාරගතව සිටින පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් - විදෙස් මාධ්‍ය

by Staff writer 03-12-2025 | 6:46 AM

COLOMBO (News 1st) - පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ශාරීරිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔහුගේ සහෝදරිය පවසයි.

ඊයේ (02) රාවල්පින්ඩි නුවර බන්ධනාගාරයේදී ඉම්රාන් ඛාන්ගේ පවුලේ සාමාජිකයින් අතුරින් එක් අයෙකුට ඔහුව හමුවීමේ අවස්ථාව හිමිවුණි.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සහෝදරියක් වන, වෛද්‍ය උස්මා කානූම් දැඩි රැකවල් මධ්‍යයේ ඔහු හමුවූ බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

කෙසේ නමුත් අදාළ හමුවෙන් පසු මාධ්‍යය වෙත අදහස් දක්වමින් සහෝදරිය සඳහන් කළේ ඉම්රාන් ඛාන් ශරිරීකව සෞඛ්‍ය සම්පන්න වුවද පාකිස්ථාන බලධාරීන් ඔහුව දැඩි මානසික වධ හිංසනයකට ලක් කරන බවය.

බන්ධනාගාරය තුළ හිටපු අග්‍රාමාත්‍යවරයාව හුදකලාව රඳවා ඇති බවටද ඇය රජයට චෝදනා කරන ලදි.

2022 වසරේදී විශ්වාසභංගයකින් අගමැති  ධුරය අහිමි වුණු, ඉම්රාන් ඛාන් පසුව මූල්‍ය දුෂණ සහ රාජ්‍ය රහස් හෙලිකිරීම ඇතුළු චෝදනා මත, 2023 වසරේදී සිරගත කෙරුණි.

නමුත් පසුගිය මාසයක පමණ කාලයක් තුළ කිසිදු ඥාතියෙකුට හෝ අමුත්තෙකුට බන්ධනාගාරය තුලදී ඔහු හමුවීමට අවස්ථාව නොලැබීම හේතුවෙන්, ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිරී ගියේ ය.

ඔහුගේ සහෝදරියකට, ඔහු හමුවීමට ඉඩ හිමිවුණේ එවැනි පසුබිමකය.