2025-11-24 දින අමාත්‍ය මණ්ඩල තීරණ

2025-11-24 දින අමාත්‍ය මණ්ඩල තීරණ

by Staff writer 25-11-2025 | 4:37 PM

COLOMBO(News1st) - 2025-11-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ


මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම

- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව ස්ථාපිත කර ඇති පළාත් සභා සඳහා අවශ්‍ය සම්පත් පිළිබඳව සහ පළාත් සභා සඳහා ජාතික අයවැයෙන් වෙන් කෙරෙන ප්‍රදානයන් එක් එක් පළාත් සභා වෙත වෙන් කර දීමේදී අනුගමනය කළ යුතු මූලධර්ම පිළිබඳව නිර්දේශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි මුදල් කොමිෂන් සභාව වෙත පැවරී ඇත. ඒ අනුව, 2026 ජාතික අයවැයෙන් පළාත් සභා සඳහා වෙන් කෙරෙන ප්‍රාග්ධන ප්‍රදාන පළාත් සභා අතර වෙන් කර දිය යුතු ආකාරය පිළිබඳව සහ පුනරාවර්තන වියදම් ගැලපීම පිළිබඳව  මුදල් කොමිෂන් සභාව විසින් සිය නිර්දේශ ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ. එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ(7) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි එම නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විත්ව බදුකරණය මඟහැරවීම සහ ආදායම මත බදු ගෙවීම පැහැර හැරීම වළක්වාලීම සඳහා එළඹ ඇති ගිවිසුම සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විත්ව බදුකරණය වැළැක්වීම සඳහා වන ගිවිසුමකට 2013‑01‑31 දින එළඹ ඇති අතර, දෙරටම Inclusive Framework of the Base Erosion and Profit Shifting (BEPS) ව්‍යාපෘතියේ සාමාජිකයන් වේ. එම ව්‍යාපෘතියේ සාමාජික රටවල් විසින් G-20 OECD BEPS Action Reports හි අවම ප්‍රමිතීන්වත් ක්‍රියාත්මක කළ යුතුව ඇත. ඒ අනුව, එකී අවශ්‍යතාවට අනුගත වීම සඳහා දෙරට අතර අත්සන් තබා ඇති ඉහත සඳහන් ගිවිසුමට සංශෝධන කිහිපයක් ලක්සම්බර්ග් බදු බලධාරින් විසින් ඉදිරිපත් කර තිබේ. එකී සංශෝධන අධ්‍යයනය කර මෙරට බදු බලධාරින් විසින් ඒ සඳහා එකඟතාව පළ කර ඇති අතර, ඒ අනුව සංශෝධිත ගිවිසුමක් කෙටුම්පත් කර ඇත. එකී කෙටුම්පත් ගිවිසුම සඳහා නීතිපතිගේ නිෂ්කාශන සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිරීක්ෂණ ලැබී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ලක්සම්බර්ග් මහා ආදිපාද වසමේ ආණ්ඩුව අතර ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු මඟහැරීම වැළැක්වීම පිණිස එළඹ ඇති ගිවිසුම සඳහා වන සංශෝධන ගිවිසුමේ සන්ධාන පත්‍රය දෙපාර්ශ්වය අතර අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 75(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා එකී ගිවිසුම ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා (Analog Terrestrial System) ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවීම
- ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන භෞමික ප්‍රතිසම රූපවාහිනී තාක්ෂණික ක්‍රමවේදය යටතේ නාලිකා පවත්වාගෙන යාම සඳහා මේ වන විට ආයතන 16ක් වෙත නිකුත් කර ඇති බලපත්‍ර උපයෝගි කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය නාලිකා 5ක් ද ඇතුළුව රූපවාහිනී නාලිකා 24ක් රට තුළ දැනට පවත්වාගෙන යනු ලබයි. මේ වන විට රූපවාහිනී නාලිකා සංඛ්‍යාත වර්ණාවලියේ උපරිම ධාරිතාව භාවිතා කරමින් ක්‍රියාත්මකව පවතින අතර, වසර 46ක් පමණ පැරණි භෞමික ප්‍රතිසම රූපවාහිනී විකාශන පද්ධතිය වෙනුවට නවීන තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්ත්වයේ ඩිජිටල් අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් තනි ඩිජිටල් භෞමික විකාශන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යාංශය විසින් ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය 2025 වර්ෂයේදී ආරම්භ කර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය විසින් ගිවිසුමකට එළඹ ඇති අතර, ව්‍යාපෘතිය 2029 වර්ෂයේදී අවසන් කිරීමට නියමිත ව තිබේ. ව්‍යාපෘතිය අවසන් වී වසර 02කින් පසු පැරණි භෞමික ප්‍රතිසම රූපවාහිනී විකාශන පද්ධතිය සම්පූර්ණයෙන් වසා දැමීමට නියමිත ව ඇති බැවින්, ඒ හරහා තවදුරටත් බලපත්‍ර ලබා දීම ඵලදායී නොවන බව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ‍විසින් රූපවාහිනී නාලිකා භෞමිකව ක්‍රියාත්මක කිරීම සඳහා සංඛ්‍යාත වර්ණාවලියෙන් සංඛ්‍යාත වෙන් කිරීමේ ක්‍රියාවලිය සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රූපවාහිනී නාලිකා භෞමිකව ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ගිවිසුම අත්සන් තැබීම
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉතාලි ජනරජය අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට 2011 වසරේදී එළඹ ඇති අතර, 2021 වර්ෂයේදී එම ගිවිසුමේ වලංගු කාලය අවසන් වී ඇත. එම ගිවිසුම යාවත්කාලීන කරමින් තාක්ෂණික සංශෝධන ඇතුළත් කර නැවත බලාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට එළඹ තිබේ. වසර 06කට අඩු කාලයක් ඉතාලියේ පදිංචිව සිටින සහ ඉතාලි පදිංචිය ලබා ගැනීමට පෙර ලබා ගත් ශ්‍රී ලාංකික වලංගු රියදුරු බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර පරිවර්තනය කිරීම මඟින් ඉතාලි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ පදිංචි ඉතාලි ජාතිකයින්ට සිය වලංගු ඉතාලි රියදුරු බලපත්‍ර ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර බවට බලාත්මක කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම එකී ගිවිසුමේ විධිවිධාන පරිදි සිදු කරනු ඇත. ඒ අනුව, රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගිවිසුමකට අත්සන් තැබීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව' (RCEP) ගිවිසුමට ශ්‍රී ලංකාව ඇතුළත් වීම
- 'කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය' යනු අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) සාමාජික රටවල් 10ක් සහ එම සංගමයේ රටවල් සමඟ දැනටමත් නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹ ඇති තවත් කලාපීිය රටවල් පහක් වන ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, දකුණු කොරියාව සහ නවසීලන්තය සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන විස්තීරණ නිදහස් වෙ‌ළෙඳ ගිවිසුමකි. එම ගිවිසුම 2022‑01‑01 දින සිට බලාත්මක වන අතර, ඉන් මාස 18කට පසුව එනම්, 2023 ජූලි මාසයේ සිට අනෙකුත් අපේක්ෂිත පාර්ශ්ව රටවල ප්‍රවේශය සඳහා විවෘත කරනු ලැබ ඇත. එම ගිවිසුම යටතේ පාර්ශ්වයන් ඔවුන්ගේ තීරුබදු රේඛාවලින් 85% සිට 90% දක්වා තීරුබදු සම්පූර්ණයෙන්ම ලිහිල් කිරීමට පියවර ගත යුතු වේ. එකී ගිවිසුම වෙත ප්‍රවේශ වීම මඟින් ශ්‍රී ලංකාවට අපනයන සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීමට මෙන්ම, කලාපීය සහ ගෝලීය සැපයුම් දාමවල සහභාගිත්වය ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව විසින් එකී ගිවිසුමට සම්බන්ධ වීම සඳහා අභිප්‍රාය ලිපියක් 2023‑06‑28 දින ඉදිරිපත් කර තිබේ. අයදුම්කරුවන් විසින් ගිවිසුමේ අඩංගු සියලු විධිවිධාන සහ නීතිරීතිවලට අනුකූල වන බව සහ ඔවුන්ගේ සූදානම මෙන්ම, ගිවිසුමෙහි අභිලාෂයන්ට අනුකූලව වාණිජමය වශයෙන් අර්ථවත් වෙළෙඳපොළ ප්‍රවේශයක් ලබා දීමට ඇති සූදානම තක්සේරු කිරීම සඳහා මූලික තොරතුරු රැස් කිරීම පිණිස 2025‑10‑24 වන දින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් වෙත මූලික ප්‍රශ්නාවලියක් නිකුත් කර ඇති අතර, 2026‑01‑25 වන දිනට පෙර එම ප්‍රශ්නාවලිය සම්පූර්ණ කළ යුතු වේ. ඒ අනුව, කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය සමඟ ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සඳහාත්, අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති මූලික ප්‍රශ්නාවලිය සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම සඳහාත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


මහනුවර විලියම් ගොපල්ලව මාවත කිලෝමීටර 2+900 සිට කිලෝමීටර 3+736 දක්වා වන කොටස මංතීරු හතරක ප්‍රමිතියට පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- මාර්ග සංවර්ධන අධිකාරියේ විෂය පථය යටතට ගැනෙන මහනුවර විලියම් ගොපල්ලව මාවතේ කිලෝමීටර 2+900 සිට කිලෝමීටර 3+736 දක්වා වන කොටස දෛනික මගී ප්‍රවේශයට පහසුකම් සලසන අතිශයින් වැදගත් මාර්ග කොරිඩෝවක් වන අතර, එය වැඩිදියුණු කිරීම නාගරික ගමනාගමනය දියුණු කිරීමට, රථවාහන තදබදය අවම කිරීමට සහ එම ප්‍රදේශයේ වර්ධනය වන ප්‍රවාහන අවශ්‍යතාවලට උපකාරි වීම සඳහා අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, එම මාර්ග කොටස මංතීරු හතරක ප්‍රමිතියට පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ජාතික තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසුකරුවන් 05දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව ඉහත සඳහන් කොන්ත්‍රාත්තුව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. Maga Engineering (Pvt) Ltd වෙත රුපියල් මිලියන 696.75ක (වැට් රහිත) මුදලකට ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


රේබීස් එන්නත් (මිනිස් පරිහරණය) මිලිලීටර 0.5/මිලිලීටර 1න් අක්‍රීය කරන ලද මාත්‍රා 3,000,000ක් ප්‍රසම්පාදනය කිරීම
- ජලභීතිකා රෝගය වැළඳීම වැළැක්වීම සඳහා භාවිතා කරනු ලබන රේබීස් එන්නත් (මිනිස් පරිහරණය) මිලිලීටර 0.5/මිලිලීටර 1න් අක්‍රීය කරන ලද මාත්‍රා 3,000,000ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවා තිබේ. ඒ සඳහා ලංසු හතරක් ලැබී ඇත. ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව, එම ප්‍රසම්පාදනය ශ්‍රී ලංකාවේ Citihealth Imports (Pvt) Ltd. (Manufacturer: Serum Institute of India Pvt. Ltd., India) වෙත මුළු පිරිවැය රුපියල් මිලියන 360ක (වැට් රහිත) මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැලණිය විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ ඉතිරි සංවර්ධන කටයුතු සිදුකිරිම
- විද්‍යාලංකාර පිරිවෙන මඟින් මෙරටට සිදු කරන ලද ජාතික, ආගමික, සාමාජයීය හා අධ්‍යාපනික මෙහෙවර උදෙසා රජය මඟින් ලබා දෙන අනුග්‍රාහක දායකත්වයක් ලෙස විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ල ඉදි කර ඇත. එකී ගොඩනැගිල්ලෙහි විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම පිණිස 2025 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 137.11ක මුදලක් ලබා දීම සඳහා 2025‑06‑23 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම මුදල භාවිත කරමින් ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය මඟින් විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කාර්යය මේ වන විට නිම කරමින් පවතින අතර, එම කාර්යය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනවලින් ඉතිරියක් පවතින බව වාර්තා වී ඇත. එම ඉතිරි ප්‍රතිපාදන කළමනාකරණය කර ගනිමින් ගිනි ආරක්ෂණ පද්ධතිය, වායුසමන පද්ධතිය, ආරක්ෂිත වැට ඉදිකිරීම ඇතුළු එම ගොඩනැගිල්ල සඳහා අත්‍යවශ්‍ය අනෙකුත් සංරචකයන් සියල්ල මෙම වර්ෂය තුළ නිම කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නොරොච්චෝල් - වාරියපොළ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය සහ වාරියපොළ වහරු අංගනය ඉදිකිරීම
- ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරනු ලැබ ඇති 2025‑2034 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම තුළ සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් හඳුනා ගෙන තිබෙන අතර, ඒවා ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. නොරොච්චෝලේ - වාරියපොළ සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය දිවයිනේ වයඹ ප්‍රදේශයේ ඇති පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රයන් ප්‍රයෝජනයට ගැනීම පිණිස ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස හඳුනා ගෙන තිබේ. වයඹ ප්‍රදේශය තුළ මෙගාවොට් 750ට වැඩි පුනර්ජනනීය බලශක්ති විභවයක් පවතින බවට ඇස්තමේන්තු කර ඇති අතර, එම ප්‍රදේශයේ පවතින විචල්‍ය ස්වභාවයෙන් යුතු පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රයන් ජාතික විදුලිබල පද්ධතිය වෙත ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සැලසීමට ප්‍රධාන සම්ප්‍රේෂණ ජාල පද්ධතියක් ස්ථාපිත කිරීම සහ පුත්තලම අවට ඇති තොග විදුලි උත්පාදනයන් සම්ප්‍රේෂණය කිරීම මඟින් සම්ප්‍රේෂණ ජාලය තුළ අධිභාර අවහිරතාවන් අඩු කිරීම මෙම යෝජිත සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතියේ පරමාර්ථ වේ. යෝජිත ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් සඳහා වන ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 24.06ක් වන අතර, මධ්‍යකාලීන අයවැය රාමුව තුළ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබේ. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වෙතින් සලසා ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, නොරොච්චෝලේ ‑ වාරියපොළ සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වෙතින් සලසා ගැනීම සඳහා වන ඉදිරි පියවර ගැනීමටත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


2017 අංක 02 දරන ඖෂධ ලියාපදිංචි කිරීම (ගාස්තු) සංශෝධිත නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- යම් ඖෂධයක්, වෛද්‍ය උපකරණයක් හෝ සීමාස්ථ නිෂ්පාදනයක් ලියාපදිංචි කළ යුතු පිළිවෙල හා ආකාරය, එකී ලියාපදිංචි කිරීමට හා බලපත්‍ර ලබා දීමට අදාළ නියමයන් හා කොන්දේසි සහ එම ලියාපදිංචි කිරීම හෝ බලපත්‍ර ලබා දීම සඳහා අය කළ යුතු ගාස්තු පිළිබඳ විෂය භාර අමාත්‍යතුමා විසින් නියෝග සෑදීම පිණිස 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත මඟින් විධිවිධාන සලසනු ලැබ ඇත. 2019 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාව තුළ ඇති වූ ආර්ථික හා මූල්‍ය වටිනාකම් වෙනස් වීම, නව තාක්ෂණ හා පරීක්ෂණ ක්‍රම හඳුන්වා දීම, නියාමන සේවා පරාසය පුළුල් වීම, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විනිවිදභාවය පවත්වා ගෙන යාම සහ ජාත්‍යන්තර සමානාත්මභාවය ආරක්ෂා කර ගැනීම වැනි හේතූන් මත ඖෂධ ලියාපදිංචි කිරීම (ගාස්තු) නියෝග යළි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, 2017‑06‑14 දිනැති අංක 2023/30 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2017 අංක 02 දරන ඖෂධ  ලියාපදිංචි  කිරීම (ගාස්තු) නියෝගය, තවදුරටත් සංශෝධනය කරමින් 2025‑09‑04 දිනැති අංක 2452/39 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත නියෝග ප්‍රකාශයට පත් කිරීමට පියවර ගනු ලැබ ඇත. 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ විධිවිධාන පරිදි එකී සංශෝධිත නියෝගය, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පෞද්ගලික සමාගමේ සේවකයින් පහළොස්දෙනෙකුට සහ ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබු තුල්හිරිය හා පූගොඩ පේෂකර්මාන්තශාලාවල රැකියා අහිමි වූ මෙතෙක් වන්දි ලබාගෙන නොමැති සේවකයින් හට සහන සැලසීම
- තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පෞද්ගලික සමාගම වසා දැමීම හේතුවෙන් අගතියට පත් සේවකයින්ට වන්දි හා අනෙකුත් ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම පිණිස පියවර ගෙන ඇති අතර, එලෙස වන්දි ලබා නොගත් තවත් සේවකයින් 15දෙනෙකු සිය වන්දි හිමිකම් ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. එසේම, ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය සහ පූගොඩ පේෂකර්මාන්තශාලාවල සේවය කළ 1978දී රැකියාව අහිමි වූ සේවකයින්ට වන්දි ගෙවීම සඳහා 2025‑05‑26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දෙන ලද අනුමැතිය පරිදි මේ වන විට සේවකයින් 1,656ක් සඳහා ගෙවීම් සිදු කර තිබේ. මුල් අවස්ථාවේදී ඉදිරිපත් වී නොමැති තවත් සේවකයින් 169දෙනෙකු මේ වන විට සිය අයදුම්පත් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පුද්ගලික සමාගමේ සේවකයින් 15දෙනා වෙනුවෙන් වන්දි සහ අනෙකුත් ව්‍යවස්ථාපිත හිමිකම් ගෙවීම සඳහා සහ තුල්හිරිය සහ පූගොඩ පේෂකර්මාන්තශාලාවල සේවය කර රැකියාව අහිමි වූ තවත් සේවකයින් 169ක් සඳහා ගෙවීම් සිදු කිරීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම
- බදු දිරිගැන්වීම් අනුකූලතාව සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම හා ආයතනික ප්‍රතිසංවිධානය සඳහා වන සංශෝධනයන් ඇතුළත්ව 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම පිණිස 2025‑07‑07 සහ 2025‑10‑13 යන දිනවලදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත  සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මැණික් කර්මාන්තයට අදාළව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අති විශෙෂ ගැසට් නිවේදන අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට හැකි වන පරිදි අදාළ විධිවිධාන සලසමින් පහත සඳහන් ගැසට් නිවේදනයන් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියෝග/ආඥාව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

ආනයනය කරන ලද අනගි මැණික් ගල්/අර්ධ අනගි මැණික් ගල් සඳහා එකතු කළ අගය මත බදු, බර මත පදනම් වූ වටිනාකමක් මත නියම කිරීමට හැකි වන පරිදි, අංක 2461/43 හා 2025‑11‑07 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 6වන වගන්තිය යටතේ පනවනු ලැබ ඇති නියෝගය;
ආනයනය කරන ලද අනගි මැණික් ගල්/අර්ධ අනගි මැණික් ගල් සඳහා එකතු කළ අගය මත බදු, බර මත පදනම් වූ වටිනාකමක් මත නියම කිරීමට හැකි වන පරිදි, අනගි මැණික් ගල් සහ අර්ධ අනගි මැණික් ගල් සඳහා වෙනම නව ජාතික උප බෙදුම් රේගු සංකේතාංක ඇති කිරීම පිණිස අංක 2461/40 හා 2025‑11‑07 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනතේ විධිවිධාන යටතේ සාදන ලද ආදායම් සංරක්ෂණ ආඥාව - අංක 04/2025; සහ
වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්දෙන් දැනට ලබා දී ඇති නිදහස් කිරීම් ඉහත සඳහන් පරිදි අලුතින් නිර්මාණය කරන ලද නව ජාතික උප බෙදුම් රේගු සංකේතාංක යටතේ ද තවදුරටත් පවත්වාගෙන යාමට හැකි වන පරිදි අංක 2461/44 හා 2025‑11‑07 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2011 අංක 18 දරන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනතේ 3 වැනි වගන්තිය යටතේ නිකුත් කරනු ලැබ ඇති නියෝගය.