දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 25-11-2025 | 6:03 AM

COLOMBO (News 1st) - දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ අහස වලාකුළින් බරව පවතිනු ඇති බවය.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදි.

නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

උතුරු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළංද ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.

මේ අතර නිල්වලා ගඟේ ජල මට්ටම ප්‍රදේශ දෙකකින් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, පානදුගම සහ තලගහගොඩ ප්‍රදේශවලින් ය.

මේ අතර දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නාය යෑම් පිළිබද අනතුරු ඇගවීම තවදුරටත් ක්‍රියාත්මක වේ.

ඒ අනුව, බදුල්ල, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක අදියර 2 යටතේ නාය යෑම් අනතුරු ඇගවීම් ක්‍රියාත්මකයි.

කොළඹ, බදුල්ල, කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර 1 යටතේ නාය යෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.