සටන් විරාමය මධ්‍යයේ ඊශ්‍රායලයෙන් ගාසා වෙත ප්‍රහාර

සටන් විරාමය මධ්‍යයේ ඊශ්‍රායල ප්‍රහාර මාලාවකින් ගාසා වැසියන් 28කගේ ජීවිත අහිමි වෙයි.. මියගිය පිරිස අතරින් 17 දෙනෙකු කාන්තාවන් සහ දරුවන් - විදෙස් මාධ්‍ය

by Staff writer 20-11-2025 | 7:54 AM

COLOMBO (News 1st) - සටන් විරාමය මධ්‍යයේ ඊශ්‍රායලය ඊයේ (19) රාත්‍රියේ සහ අද (20) අළුයම එල්ල කල ප්‍රහාර මාලාවකින් ගාසා වැසියන් 28 දෙනෙකු මියගොස් තිබේ. 

ඒ අතුරින් 17 දෙනෙකු කාන්තාවන් සහ දරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

"ඛාන් යූනිස්" හී තුවක්කුවරුන් පිරිසක් ඊශ්‍රායල හමුදා රැදී සිටි ස්ථානයට වෙඩි ප්‍රහාර එල්ල කළ බව එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව කියා සිටියේ ය.

කෙසේ නමුත් ඉන් කිසිදු ඊශ්‍රායල හමුදා සාමාජිකයෙකුට හානි සිදුව නැත.

එසේ වූවද, හමාස් සංවිධානය එල්ල කළ වෙඩි ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරය පුරා පිහිටි, ඉලක්කවලට පහර දුන් බව ඊශ්‍රායලය පවසයි.

හමාස් සංවිධානය එම චෝදනාවලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

අමෙරිකාවේ කරුණු 20ක සාම සැලැස්මට අනුව, සටන් විරාමයක් ආරම්භ කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟ වූයේ පසුගිය ඔක්තෝබර් 10 වැනිදාය.

ගෙවුණු දින 41 තුළ ඊශ්‍රායලය 390 වාරයක් සටන් විරාමය කඩ කර ඇතැයි ගාසා බලධාරීන් පවසයි.

එම ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 280 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 672කි.

වසර දෙකකට වැඩි කාලයක් තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ගාසා භූමියෙන් 80%ක් පමණ විනාශ වී ඇත.

මේ හේතුවෙන් පුද්ගලයින් බහුතරයක් තවමත් තාවකාලික කුඩාරම් වල ජීවත් වන බවත් ඒ අතුරින් ලක්ෂ 7ක් පමණ දරුවන් බවත් විදෙස් වාර්තා වල සඳහන් වේ.

පසුගිය සති අන්තයේ ගාසා තීරයට ඇද හැලුණු අධික වැසි හමුවේ අදාල කුඩාරම් පිහිටි ප්‍රදේශ ජලයෙන් යටවී ඇතැයි "'සේව් ද චිල්රන්" (SAVE THE CHILDREN)  ජාත්‍යන්තර මානුෂීය සංවිධානය පෙන්වා දෙනු ලබයි.