පානදුරට මත්ද්‍රව්‍ය බෙදූ කොස්තාපල්වරයෙකු කොටු..

පානදුරට මත්ද්‍රව්‍ය බෙදූ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

by Staff writer 20-11-2025 | 5:59 PM

COLOMBO(News1st) - පානදුර ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරින බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු සහ කාන්තාවක් නුගේගොඩ මිරිහානේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කළුතර කොට්ඨාස අපරාධ අංශය විසින් ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අගුරුවාතොට පොලීසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

31 හැවිරිදි ඔහු වලස්මුල්ලේ පදිංචිකරුවෙකු වෙයි.

දැනට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින පානදුර කමල් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බෙදාහරින මත්ද්‍රව්‍ය, එම පොලිස් කොස්තාපල්වරයා මැදිහත්ව පානදුර ප්‍රදේශයේ අලෙවි කරන බව, අනාවරණ වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ජංගම දුරකතන විශ්ලේෂණය කරමින්, පොලීසිය කරන ලද විමර්ෂණයකදී ඒ බව තහවුරු වූ බවයි.

පානදුර මෝදරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මවක සහ පුතෙකුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී අදාල පොලිස් කොස්තාපල්වරයා සහ කාන්තාව අත්අඩංගුවට ගැණුනි.

අත්අඩංගුවට ගත් කාන්තාව, කමල් නැමැති මත්ද්‍රව්‍ය ජවාරම්කරුගේ බිරිඳ බව පොලීසිය පවසයි.

පානදුර , කලුදෑවල පදිංචි 37 හැවිරිදි ඇය, එක්දරු මවකි.

පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය බෙදා හරින බව කියන කුඩා වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඔහු සතුව තිබී රුපියල් 7 ලක්ෂ 17 790 ක මුදලක් ද, පොලිස් භාරයට ගැණුනි.