.webp)

COLOMBO(News1st) - ජාත්‍යන්තර ධීවර දිනයට සමගාමීව 'Aqua Planet - Sri Lanka, International Expo - 2025' ප්‍රදර්ශනය පැවැත්වීම
- 'මින් විසිතුරු ශ්‍රී ලංකා' සහ 'සී ෆුඩ් ෆියෙස්ටා' වැනි ජාතික ප්‍රදර්ශනවලින් ඔබ්බට ගොස් ගෝලීය ධීවර වෘත්තිකයින්, පර්යේෂකයින්, ව්‍යවසායකයින් සහ ඒ සඳහා උනන්දුවක් දක්වන්නන් ඒකරාශි කරමින් පවත්වනු ලබන 'Aqua Planet - Sri Lanka, International Expo 2025' ජාත්‍යන්තර ප්‍රදර්ශනය - 2025 නොවැම්බර් මස 21 දින සිට 23 දින දක්වා කොළඹ නෙලුම් කුලුනේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. එම ප්‍රදර්ශනයේ දී ධීවර සම්පත්, ජලජීවී වගාව, සැකසුම්කරුවන්, අපනයනකරුවන් සහ විසිතුරු මත්ස්‍ය වගාකරුවන් හරහා ශ්‍රී ලංකාවේ ජලජ සම්පත් ඉස්මතු කර පෙන්වීමටත්, තිරසරභාවය, නවෝත්පාදනය, වෙළෙඳාම, අධ්‍යාපනය සහ නිල් ආර්ථික (සාගර ආර්ථික) මූලධර්ම තේමා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමටත් අපේක්ෂා කරනු ලබයි. එමෙන්ම, එම ප්‍රදර්ශනයේදී සමුද්‍ර සංරක්ෂණය පිළිබඳ විද්වත් මණ්ඩල සාකච්ඡා, තිරසර තාක්ෂණ ප්‍රදර්ශන, ව්‍යාපාර ගැලපුම් සැසි සහ මුහුදු ආහාර සැකසීමේ චක්‍රීය ආර්ථික යෙදවුම් වැනි මාතෘකා පිළිබඳ වැඩමුළු පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. ඒ අනුව, තිරසර භාවිතයන් සාම්ප්‍රදායික අංශයන්ට ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතයට නොගත් නිල් ආර්ථික (සාගර ආර්ථික) අවස්ථා මඟින් රටේ ආර්ථික නිමැවුම ඉහළ නැංවීමේ අවස්ථාවන් කෙරෙහි වැඩිදුරටත් අවධානය යොමු කරනු ඇත. ඒ අනුව, යෝජිත ‘Aqua Planet - Sri Lanka, International Expo 2025’ ජාත්‍යන්තර ප්‍රදර්ශනය පැවැත්වීම පිණිස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය අංශයේ නව ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම
- කොවිඩ් 19 වසංගතයත් සමඟ 2021 2024 කාලය තුළ රටට බලපෑ ආර්ථික අර්බුදය හේතුවෙන් බොහොමයක් සෞඛ්‍ය සේවා ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවා තිබේ. ආර්ථිකයේ මෑතකාලීන දියුණුවත් සමඟ අත්හිටුවන ලද ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගත් නව ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, 2026 වර්ෂය සඳහා වන අයවැය කැඳවීමට අනුව, රාජ්‍ය ආයෝජන වැඩසටහනට ඇතුළත් කර ඇති සෞඛ්‍ය අංශයේ දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින ව්‍යාපෘති සහ නව මුලපිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් රාජ්‍ය ආයෝජන කමිටුව විසින් සෞඛ්‍ය අංශයේ නව ව්‍යාපෘති ගණනාවක් රාජ්‍ය ආයෝජන වැඩසටහනට ඇතුළත් කිරීම සඳහා තෝරා ගනු ලැබ ඇත. ඒ අනුව, එකී ව්‍යාපෘති අතරින් 2026 අයවැය ඇස්තමේන්තු මඟින් ප්‍රතිපාදන සලසනු ලබන පහත සඳහන් නව ව්‍යාපෘති 09 එළඹෙන වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
ජාතික මුඛ සෞඛ්‍ය සංගණනය - 2025/2026.
යෝජිත ශල්‍යාගාරය, එන්ඩොස්කොපි ඒකකය සහ හෘද උරස් පූර්ව ශල්‍ය වාට්ටුව ස්ථාපිත කිරීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පවතින සිව්මහල් ගොඩනැගිල්ල පුළුල් කිරීම.
මාතලේ දිස්ත්‍රික් රෝහලේ ශල්‍ය සහ විකිරණවේදී පහසුකම් සහිත මාතෘ සත්කාර ඒකකයක් සඳහා පස්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
මහරගම මුඛ සෞඛ්‍ය සේවා ආයතනය සඳහා බාහිර රෝගී අංශය සහ විශේෂිත ඒකක සහිත පස්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
වෝහාරික වෛද්‍ය සහ විෂවේදය පිළිබඳ ආයතනයේ පස්මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම (කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය සඳහා).
අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු, හදිසි ප්‍රතිකාර සහ ඒ ආශ්රිත සේවා සඳහා වන ගොඩනැගිලි සංකීර්ණය අදියර I සහ අදියර II ඉදිකිරීම.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍ය නිලධාරින්ගේ නිල නිවාස ඉදිකිරීම.
මඩකලපුව ශික්ෂණ රෝහලේ විකිරණවේදී ඒකකය පුළුල් කිරීම.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජාතික හදවත් මධ්‍යස්ථානය ඉදිකිරීම.
2025 අතරමැදි කන්නයේ මුං අස්වනු මිල දී ගැනීම
- කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ මගපෙන්වීම මත ක්‍රියාත්මක කරන ලද 2025 මුං වගාවේ ඵලදායිතාව හා නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩසටහන යටතේ 2025 යල කන්නයේ හා අතරමැදි කන්නයේ හෙක්ටයාර 16,500ක පමණ භූමි ප්‍රමාණයක මුං වගා කර තිබේ. එමඟින්, මුං ඇට මෙට්‍රික්ටොන් 14,600ක පමණ අස්වැන්නක් අපේක්ෂා කරන අතර, එම අස්වැන්නෙන් මෙට්‍රික්ටොන් 12,000ක් පමණ ඍජුවම දේශීය වෙළෙඳපොළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුං ඇට අස්වනු නෙළීම ආරම්භ කර ඇති අතර, අතරමැදියන් විසින් කිලෝග්‍රෑම් එකක් රුපියල් 450/-ක පමණ අඩු මුදලකට එම අස්වනු මිල දී ගන්නා බවට වාර්තා වී ඇත. එබැවින්, ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා දීමට හැකි වන පරිදි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ උපදෙස් මත ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මුං ඇට අස්වැන්න මිල දී ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. එම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරමින් පුද්ගලික අංශය සමඟ තරගකාරී අයුරින් මුං ඇට අස්වැන්න මිල දී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා යෝජිත මහනුවර සත්මහල් නේවාසික ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා යෝජිත මහනුවර සත්මහල් නේවාසික ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම පිණිස ජාතික තරගකාරි ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 5ක් ලැබී ඇති අතර, ලංසු 4ක් තාක්ෂණික වශයෙන් ප්‍රතිචාරාත්මක ලංසු වශයෙන් තීරණය කරනු ලැබ තිබේ. එම ලංසුවලට අදාළ මූල්‍ය ලංසු ඇගයීමෙන් අනතුරුව, අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 1.53ක (වැට් රහිත) මුදලකට මාගා ඉංජිනියරින් (පුද්ගලික) සමාගම වෙත ප්රදානය කිරීම ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව, එකී කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේ හඳුනාගනු ලැබ ඇති පාලම් 74ක වැඩ නිම කිරීම
- ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙත දිවයින පුරා පාලම් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තු 326ක් පිරිනැමීම සඳහා 2021-02-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ වන විට වැඩ ආරම්භ කර නොතිබූ පාලම් 184ක ඉදිකිරීම් කටයුතු නතර කිරීමට 2022 වසරේදී තීරණය කර ඇති අතර, ඉතිරි පාලම් 142න් 45ක වැඩ මේ වන විට නිම කර තිබේ. තවත් පාලම් 23ක වැඩ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබ ඇත. අදාළ ප්‍රදේශවල ගමනාගමන කටයුතුවලදී මහජනතාවට මුහුණ පෑමට සිදුව ඇති අපහසුතා අවම කිරීමේ අරමුණින් ඉතිරි පාලම් 74ක වැඩ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින් යළි ආරම්භ කර, ඒවායේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
බන්ධනාගාර නිලධාරින් සඳහා නේවාසික පහසුකම් සැලසීම
- බන්ධනාගාර තුළ පවතින නිලධාරි හිඟය හේතුවෙන් බොහෝ බන්ධනාගාර නිලධාරින්හට සිය නියමිත රාජකාරි වේලාවන්ගෙන් අනතුරුව රාජකාරින්හි නිරත වීමට සිදු වන බැවින් ඔවුන් සඳහා නේවාසික පහසුකම් සපයා දීම අත්‍යවශ්‍ය වී තිබේ. එහෙත්, සියලුම බන්ධනාගාරවල පාහේ ප්‍රමාණවත් නේවාසික පහසුකම් නොමැති වීම හේතුවෙන් දැනට පවතින නේවාසික ස්ථාන නවීකරණය කිරීම සහ ඉඩ පහසුකම් සහිත ස්ථානවල අලුතින් නේවාසික පහසුකම් ඉදිකිරීම සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එම වැඩසටහනේ පළමු අදියර වශයෙන් ප්‍රමුඛතා පදනම මත 2026 වර්ෂය තුළදී පහත සඳහන් පරිදි බන්ධනාගාර නිලධාරින් සඳහා නේවාසික පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
වැලිකඩ බන්ධනාගාරයේ බැරැක්ක දෙකක් ඉදිකිරීම.
අනුරාධපුර බන්ධනාගාරයේ බැරැක්කයක් ඉදිකිරීම.
සියලුම බන්ධනාගාර ආයතනවල බැරැක්ක නවීරකණය හා සනිපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම.
රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය පුද්ගලික ආයෝජනයක් මඟින් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම
- රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම (DBFOM) ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා 2024-07-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එමෙන්ම, රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරි කමිටුව විසින් ද එම සිනමා උද්‍යානයේ උපයෝගිතාව වැඩි කිරීම සහ ආදායම ඉහළ නැංවීම සඳහා සුදුසු වාණිජමය ආකෘතියකට අනුගතව එය ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවන ලෙස නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය වසර 30ක කාලයක් සඳහා සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම (DBFOM) ආකෘතිය යටතේ පුද්ගලික ආයෝජනයක් මඟින් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් තරගකාරී සහ විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කොළොන්නාව නිමාවේ සිට කොළඹ වරාය දක්වා නළ මාර්ග එළීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- ආනයනික ඛනිජ තෙල් නිෂ්පාදන කොළඹ වරායේ සිට කොළොන්නාව නිමාව දක්වා ප්‍රවාහනය දැනට නළ මාර්ග 05ක් මඟින් සිදු කරනු ලබයි. එම නළ මාර්ග ඉතා පැරණි ඒවා වන අතර, පසුගිය වසර ගණනාවක් පුරා නිරන්තර කාන්දුවීම් වාර්තා වී ඇත. එබැවින්, විශ්වාසදායක නළ මාර්ග පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ඒ සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර යෝජනා කැඳවා ඇති නමුත්, එකී යෝජනා මත පදනම්ව සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට මෙතෙක් හැකි වී නොමැත. එබැවින්, මීට පෙර ක්‍රියාත්මක කරනු ලැබ ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර, කොළඹ වරායේ ඩොල්ෆින් තෙල් නැව් තටාකාංගනයේ සිට කොළොන්නාව නිමාව දක්වා අඟල් 18ක සහ අඟල් 14ක විශ්කම්භයකින් යුත් නළ ඇතුළත පරීක්ෂා කිරීමේ හැකියාව සහිත යන්ත්‍රෝපකරණ භාවිත කළ හැකි නළ මාර්ග 02ක් ඉදිකිරීම, කොළඹ වරායේ ඩොල්ෆින් තෙල් නැව් තටාකාංගනයේ සිට සේරම් ගේට්ටුව දක්වා අඟල් 12ක විශ්කම්භයකින් යුත් මුහුදු පත්ල යටින් දිවෙන නළ මාර්ග කොටස ඉදිකිරීම සහ කොළඹ වරායේ සහ කොළොන්නාව නිමාවේ පර්යන්ත අවශ්‍ය පරිදි වෙනස් කිරීම යන ව්‍යාපෘති සංරචකයන්ගෙන් යුත් 'කොළොන්නාව සිට වරාය දක්වා නළ මාර්ග එළීමේ ව්‍යාපෘතිය' ඉංජිනේරු, ප්‍රසම්පාදන, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම (EPCC) ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 අංක 02 දරන රාජ්‍ය ණය කළමනාකරණ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 16 වන වගන්තියේ විධිවිධාන පරිදි රජයේ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පවරනු ලැබ ඇත. එම පනතේ 31 වන වගන්තිය අනුව ප්‍රාථමික අලෙවිකරුවන් පත් කිරීමේ සහ ඔවුන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් වන බලතල මුදල් විෂයය භාර අමාත්‍යවරයා වෙත පවරනු ලැබ තිබේ. ඒ අනුව, රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේදී ප්‍රාථමික අලෙවිකරුවන් සහ අලෙවිකරුවන් නොවන ලංසුකරුවන් සමඟ ඍජුව ගනුදෙනු කිරීම, ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්යසාධනය ඇගයීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය බලගැන්වීම සහ රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා මගපෙන්වීම්, මෙහෙයුම් මාර්ගෝපදේශ සහ උපදෙස් නිකුත් කිරීමට හැකි වනු පිණිස රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත බලය පැවරීම අරමුණු කර ගනිමින් සාදනු ලැබ ඇති 2025 අංක 02 දරන රාජ්‍ය ණය කළමනාකරණ නියෝග, අංක 2459/52 දරන 2025-10-24 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
(129 වන අධිකාරය වූ) සාප්පු සහ කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනතේ 66 වන වගන්තිය යටතේ සාදනු ලැබ ඇති නියෝගය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනතේ නියෝග අංක 3 සංශෝධනය කිරීම පිණිස 2025-07-03 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, සංශෝධිත නියෝගය මඟින් නේවාසික හෝටල්වල සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන්නියන්ගේ කාර්යයන්හි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ට පස්වරු 6.00ට පසුව සහ පෙරවරු 6.00ට පෙර සේවයේ යෙදීමට හැකි වන පරිදි අවශ්‍ය නීතිමය සංශෝධන හඳුන්වා දීමට අපේක්ෂා කරනු ලබයි. එකී කාර්යය සඳහා සාප්පු හා කාර්යාල සේවකයින් පිළිබඳ (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනතේ 66 වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් සාදනු ලැබ ඇති සංශෝධිත නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ඉන් අනතුරුව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2009 අංක 38 දරන ජාතික වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ආයතනය පනත සංශෝධන කිරීම
- වෘත්තීය ආරක්ෂණ හා සෞඛ්‍ය සඳහා ප්රමිතීන් සකස් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් 2009 අංක 38 දරන ජාතික වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ආයතනය පනත මඟින් ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය පිහිටුවනු ලැබ තිබේ. එම ආයතනයේ කාර්යයන් පුළුල් කිරීමට හා වර්තමාන වැඩ ලෝකයට ගැළපෙන අයුරින් වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා එම පනත සංශෝධනය කිරීම පිණිස 2023-03-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ සඳහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගන්නා ලෙස නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනුම් දී තිබේ. එමෙන්ම, ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය විසින් කර්මාන්තශාලා ආඥාපනත මඟින් ආවරණය නොවන ක්ෂේත්රවල සේවකයින්ගේ වෘත්තීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය අංශයේ නියාමනයක් සහිතව යාන්ත්‍රණයක් සැකසීමටත්, වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ නියැලෙන වෘත්තිකයන් ප්‍රමිතිගත කිරීමටත් හැකිවන පරිදි එම පනත් කෙටුම්පත සඳහා තවදුරටත් යෝග්‍ය සංශෝධන හඳුන්වා දීමේ අවශ්‍යතාව නිරීක්ෂණය කරනු ලැබ ඇත. එකී සංශෝධනයන් ද ඇතුළත් කරමින් ජාතික වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ආයතනය පනත සංශෝධනය කිරීමට අදාළ අවසන් පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, ඒ අනුව කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා 2025-06-16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' යන දැක්මට සහාය දුන් සියලුම ශ්‍රී ලාංකිකයන්ට රජය ලබා දුන් පොරොන්දුව අනුව, පාර්ලිමේන්තුවට තේරී පත් වූ නියෝජිතයන්ට සහ ඔවුන්ගේ කලත්‍රයන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීම අරමුණු කර ගෙන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත. එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
- වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් තනතුරේ දැනට සේවය කරනු ලබන අයි.පී.ඒ.ගුණසේකර මහතා 2025-12-04 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ. ඒ අනුව, පුරප්පාඩු වන වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයෙකු ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ සිවිල් 3 කාණ්ඩයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ආචාර්ය (ඉංජි.) කේ. වැලිගෙපොලගේ මහතා 2025-12-04 දින සිට පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
