ත්‍රිකුණාමල සිද්ධියේ ඇත්ත කතාව මොකක් ද?

ත්‍රිකුණාමල සිද්ධියේ ඇත්ත කතාව මොකක් ද?

by Staff writer 18-11-2025 | 6:49 PM

COLOMBO(News1st) - මේ ප්‍රශ්ණයට මුල්වෙන්නේ ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට අයිති බව කියන ඉඩමක ප්‍රශ්ණයක්.

මේ ඉඩම පිහිටා ඇත්තේ, ත්‍රිකුණාමලය සුන්දර වෙරළට මායිම්ව.

පසුගිය දින කිහිපයේ මේ ස්ථානයේ ඉදිකල තාවකාලික ඉදිකිරීමක බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කර එය මුල්කරගෙන විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය කරමින් තිබුණා.

2014 දී  එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ඉඩම ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට පූජා භූමි ඔප්පුවකින් ලබා දුන් බව විහාරාධිපති හිමියයන් සහ දායක සභාව පවසනවා.

මේ ඉඩමේ වර්තමානයේ ඇත්තේ, ඩජ්බේ කොෆියෝ නමින් ක්‍රියාත්මක ව්‍යාපාරයක්.

2023 වසරේ ආරම්භ කල මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ L.T පෙරේරා නමැති අයෙක්.

L.T පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිකුණමලය ආසන සංවිධායක දීපානි ලියනගේ නමැත්තියගේ ඥාතියෙක්.

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට අයත් බව කියන මේ ඉඩමේ දීපානි ලියනගේ, ඇගේ බෑනා ඇතුළු පිරිසක් මැදිහත්ව එම ව්‍යාපාරය ආරම්භ කර තිබුණේ දායක සභාවේ අනුමැතියෙන්.

විහාරස්ථානයේ විදුලි බිල ඇතුළු අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සදහා මේ ව්‍යාපාරයේ ආදායමෙන් හතරෙන් එක්ක යොදා ගෙන තිබෙනවා.

පසුගිය නොවැම්බර් 4 වෙනිදා ඩජ්බේ කොෆියෝ නමැති අවන්හල අනවසර ඉදිකිරීමක් බව දැනුම්දී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එය ඉවත් කර ගන්නා ලෙස ව්‍යාපාරයේ හිමිකරුට දැනුම්දී තිබුණා!.

නමුත් එහිදී විහාරාධිපති හිමියන් ඇතුළු පාර්ශ්වය මතුකල කරුණු සලකා නිලධාරීන් ඉදිකිරීම ඉවත් කිරීමට දින 7 ක සහන කාලසීමාවක්ද ලබාදී තිබු අතර
මේ දැනුම්දීම සිදුකර දින 7 ගතවීමට ආසන්න වෙද්දී ප්‍රශ්ණයට මුල්වූ ඩජ්බේ කොෆියා අවන්හලට මීටර් 50 ක පමණ දුරින් ඉදිකිරීමකට මුල පුරා තිබෙනවා.

එය දහම් පාසල් ගොඩනැගිල්ලක් යැයි ප්‍රකාශ කෙරුණු අතර පසුව බුදු පිළිම වහන්සේ නමක්ද එහි වැඩම කරවීමට පියවර ගත්තා.

ත්‍රිකුණාමලයට පිටතින් පැමිණි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ කඩවත, වෑබඩ ප්‍රදේශයේ සිට පැමිණි දුලාර ගුණතිලක නමැති  පුද්ගලයා ඇතුළු පිරිසක් මැදිහත්වී බුදු පිළිම වහන්සේ වැඩම කර තිබුණා.

දුලාර ගුනතිකල නමැත්තා විවිධ නම්වලින් ආරම්භ කර ඇති සංවිධාන කිහිපයක්ම නියෝජනය කරන අතර යහපාලන ආණ්ඩුවේ අවසන් කාලසීමාවේ අමාත්‍යවරයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙකු ලෙසද සේවය කල අයෙක්.

පෙරේදා(16) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූයේ පොලීසිය බුදු පිළිම වහන්සේ ඉවත් කිරීමට උත්සාහ කළැයි කියමින්.

තත්ත්වය සමනය කල පොලිසීය ඊයේ(17) දහවල් වනවිට නැවතත් පිළිම වහන්සේ එම ස්ථානයට වැඩම කරවා තිබුණා.

මේ අතර ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කිරීමට සූදානම්වන බවත් එය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම ගොනුකර ඇත්තේ විහාරාධිපති ත්‍රිකුණාමලය කල්‍යාණ වංශ තිස්ස හිමියන් විසිනි.

එහි වග උත්තරකරුවන් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් සහ පරිසර අමාත්‍යවරයා නම් කර තිබෙනවා.

විහාරස්ථානයට අයත් 57/ ටීජී දරණ ඉඩම් කොටස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට  ත්‍රිකුණාමලය නගර සභාව විසින් ලිපියක් නිකුත් කළ බවද පෙත්සමේ සදහන් වේ.

විහාරස්ථානයේ කොටසක් ලෙස පෙත්සමෙන් පෙන්වාදෙන කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා 2025 ජූලි 18 සහ 2025 ජූනි 25 යන දින වල ලිපි නිකුත් කළ අතර ඊට එරෙහිව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත තමන් වහන්සේ අභියාචනයක්ද ඉදිරිපත් කළ බව විහාරාධිපති හිමියන් සිය පෙත්සමෙන් පෙන්වාදී තිබෙනවා.

නමුත් එම අභියාචනය පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව පෙත්සමේ සදහන් වේ.

සිය අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට පෙර අදාළ අමාත්‍යාංශ ලේකම් වරයා තමන් වහන්සේගෙන් කරුණු විමසීමක් හෝ ස්ථාවරයට කන් දීමක් නොකළ බවත් විහාරාධිපති හිමියන් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

අදාල ඉදිකිරීම තුළින් වෙරළ සංරක්ෂණ රෙගුලාසි කිසිවක් උල්ලංඝනය නොවන අතර සිය ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි අත්තනෝමතික මෙන්ම ද්වේෂ සහගත තීන්දුවක් බවද පෙත්සමේ සඳහන් වේ.

මේ අතර ත්‍රිකුණාමලය දිස්‍ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නායක ස්වාමීන් වහන්සේලා සහ ඊට අදාළ රාජ්‍ය නිලධාරීන් සමග ජාතික ජනබලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මිමන මහතා සාකච්ඡාවක් පවත්වා තිබුනේ ඒ අතරතුරයි.

එහිදී මතභේදාත්මක පිළිම වහන්සේ විහාරස්ථානයට අයත් භූමියේ තැන්පත් කිරීමටත්,  විහාරස්ථානයට අයත් පැරණි ගොඩනැගිලි පැවති භූමිය හඳුනාගෙන නිසි පරිදි මායිම් සලකුණු කිරීමටත් එකඟතාවය පල කර තිබෙනවා.