කෙහෙළිය ඇතුළු පවුලේ 4 දෙනෙකුට යළිත් අධි චෝදනා

කෙහෙළිය ඇතුළු පවුලේ 4 දෙනෙකුට යළිත් අධි චෝදනා

by Staff writer 17-11-2025 | 4:21 PM

COLOMBO(News1st) - හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල , දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම ගොනුකර තිබූ තවත් නඩු දෙකකට අදාළව අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ ය.

කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා යන අයට විරුද්ධව එලෙස අධි චෝදනා පත්‍ර භාර දුන්නේය.

අනතුරුව විත්තිකරුවන් වෙන් වෙන්ව රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවයා, විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කළේ ය.

නඩු වලට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ ජනවාරි 12 සහ 14 කැඳවීමට නියමිතයි.

මේ අතර, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල යන දෙදෙනා පමණක් විත්තිකරුවන් කරමින් අල්ලස් කොමිසම ගොනු කර තිබූ තවත් නඩුවක් සඳහා ද අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දුන්නේය.

විත්තිකරුවන් වෙන් වෙන්ව රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර දෙකක් මත මුදා හැරීමට එහිදී විනිසුරුවරයා නියෝග කළේ ය.

එම නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි 20 වැනිදා කැඳවීමට නියමිතයි.

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාවේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පිටස්තර පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප හා දීමනා තමන්ගේ බැංකු ගිණුම් වලට තැන්පත් කරගැනීමෙන් දූෂණය නැමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම, එම නඩු ගොනු කර තිබේ.