ගොඩ ගැසී ඇති රියැදුරු බලපත්‍ර මුද්‍රණය යළි ඇරඹෙයි.

මුද්‍රණය කරන කාඩ් නොමැති වීමෙන් නවතා තිබූ රියැදුරු බලපත්‍ර මුද්‍රණය යළි ආරම්භ කෙරේ..

by Staff writer 16-11-2025 | 8:30 AM

COLOMBO (News 1st) - නිකුත් කිරීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ කර තිබේ.

එලෙස රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නතර කර තිබුණේ, ඒවා මුද්‍රණය කරන කාඩ් නොමැති වීම හේතුවෙනි.

ඒ වෙනුවට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කෙරුණි.

ඒ අනුව මුද්‍රණය කිරීමට පවතින රියදුරු බලපත්‍ර සංඛ්‍යාව, තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න වේ.

ස්ථාන තුනකදී රියදුරු බලපත්‍ර මුද්‍රණය සිදු කරන බව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සදහන් කරන ලදි.

ඒ, වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මධ්‍යස්ථානය, හම්බන්තොට සහ අනුරාධපුර පිහිටි අතිරේක මධස්ථාන වලදීය.

දෛනිකව රියදුරු බලපත්‍ර 6000කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව, කමල් අමරසිංහ මහතා සදහන් කළේ ය.

ඉන්, 1500 ක් නිකුත් කෙරෙන්නේ, එක්දින සේවාව යටතේය.

සාමාන්‍ය සේවාව යටතේ දිනකට නිකුත් කිරීමට අපේක්ෂා කරන රියැදුරු බලපත්‍ර සංඛ්‍යාව, 4500 ක්.

ඒ අනුව ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර ඉදිරි සති දෙක තුළ මුද්‍රණය කර බෙදා හැරීමට හැකි බව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන ලදි.

මේ අතර තවත් රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 10ක් ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිතය.