දිල්ලි නුවර පිපිරීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

දිල්ලියේ ස්ථාන 6කට ප්‍රහාර එල්ල කිරීමේ සැළසුමක් හෙළිවෙයි

by Staff writer 13-11-2025 | 5:39 PM

COLOMBO (News 1st) -පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවර සිදුවූ පිපිරීම පිළිබඳ සිදුකරන විමර්ශනවලින් තවත් තොරතුරු රැසක් හෙළිවී තිබේ.

NDTV පුවත් සේවය වාර්තා කරන්නේ, එම පිපිරීම දිල්ලියේ ස්ථාන හයක් ඉලක්ක කර සිදුකිරීමට නියමිත වූ පිපිරීම් මාලාවක කොටසක් වීමට තිබූ ප්‍රහාරයක් බවට අනාවරණය කරගෙන ඇති බවයි.

පුපුරණ ද්‍රව්‍ය රැගෙන යාමට මොටර් රථ 32ක් සූදානම් කර තිබූ බව හෙළි වී ඇති බවද එම පුවත් සේවය පවසයි.

එම වාහන අතුරින් එදින පුපුරා ගිය වාහන 5 මේ වන විට හඳුනාගෙන ඇති නමුත් එරට පොලීසිය පවසන්නේ, ඒවා පැරණි වීම සහ කිහිප වතාවක් විකුණා තිබීම හේතුවෙන් ඒ පිලිබඳව විමර්ශණ කිරීම අසීරු වූ බවයි.

මේ අතර, ප්‍රහාරය සිදුවූ මෝටර් රථයේ රියැදුරුද මේ වනවිට හඳුනා ගෙන තිබේ.

ඔහු උමාර් නාබි නම් වෛද්‍යවරයෙකි.

ඔහු දිල්ලි පිපිරීම පිටුපස සිටි පුද්ගලයා ලෙස හඳුනාගෙන ඇති බව NDTV පුවත් සේවය වාර්තා කරයි.

ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගෙන තිබුණේ මොටර් රථයේ රියදුරු අසුනෙන් ලබා ගත් DNA සාම්පල ,,එම වෛද්‍යවරයාගේ මවගේ DNA සාම්පල සමග සැසඳීමෙන් අනතුරුවයි.

මේ අතර, පසුගියදා ඉන්දියාවේ රතු බලකොටුව ආසන්නයේ මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසළ සිදුවූ මෙම පිපිරීමෙන් මියගිය පිරිස 13ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තුවාල ලැබූ පිරිස 20කි.

පවතින තත්වය හමුවේ මෙට්‍රෝ දුම්රිය ස්ථානය නැවත දැනුම් දෙන තුරු වසා තබන බවද එම දුම්රිය ස්ථානය නිවේදනය කර තිබේ.