තුසිත හල්ලොලුවට වරෙන්තු

තුසිත හල්ලොලුවට වරෙන්තු

by Staff writer 13-11-2025 | 5:05 PM

COLOMBO (News 1st) - 

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේ ය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා වරෙන්තු නිකුත් කළේ, ඇප මත සිටින සැකකරු වෙනුවෙන් ඇප තැබූ ඇපකරු  අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ය.

තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට නාරාහේන්පිට ප්‍රදේශයේදී පහරදීම සහ වෙඩි තැබිමේ  සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළ නඩුවක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූවේ ය.

ඒ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, අසනීප තත්ත්වයක් හේතුවෙන් සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටින බවයි.

ඊට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරි දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බව  ඔහු කියා සිටියේ ය.

ඒ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් ඇපකරුවකු අධිකරණයේ පෙනී සිටියේ ය.

එම ඇපකරු විවෘත්ත අධිකරණ හමුවේ කැඳ වූ නඩුවේ  ඇපකරු නොව තුසිත හල්ලොලුව මහතාට එරෙහිව තිබෙන වෙනත් නඩුවක ඇපකරු බවට කරුණු තහවුරු වීමෙන් පසුව අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේ ය.

තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තබා එහි තිබූ ලිපිගොනු පැහැර ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනයට සහය නොදැක්වීමේ චෝදනා මත පැවරු නඩුවට අදාළව මෙම වරෙන්තුව නිකුත් කෙරිණ.
 

වෙනත් ලිපි