අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

2025-11-10 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

by Staff writer 11-11-2025 | 4:30 PM

COLOMBO(News1st) - ලංකා බැංකුව සඳහා තොරතුරු තාක්ෂණ සේවා අනුබද්ධිත ආයතනයක් පිහිටුවීම
- වෙනස් වන පාරිභෝගික ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම පිණිස සහ බැංකු ක්ෂේත්‍රයේ තරගකාරිත්වය පවත්වා ගැනීම පිණිස සිය ඩිජිටල්කරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ලංකා බැංකුව විසින් හඳුනාගෙන තිබේ. එබැවින්, ලංකා බැංකුවේ තොරතුරු තාක්ෂණ මෙහෙයුම් ප්‍රශස්තකරණය සහ ඩිජිටල් පරිවර්තනයට සහාය වන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් හා සේවාවන් සපයා ගැනීම පිණිස, සුදුසුකම් ලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් සමන්විත තොරතුරු තාක්ෂණ ආයතනයක් එම බැංකුවට අනුබද්ධිතව පිහිටුවීමට සැලසුම් කර ඇත. ඒ අනුව, ලංකා බැංකුවේ මිනිස්බල අවශ්‍යතා සපුරාලීම සඳහා 1992 දී පිහිටුවන ලදුව 2007 වසරේදී මෙහෙයුම් කටයුතු අත්හිටුවනු ලැබ ඇති ලංකා බැංකු කළමනාකරණ සහ සහාය සේවා (පුද්ගලික) සමාගම (BOC Management and Support Services (Pvt) Ltd.), ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබ ඇති කොන්දේසිවලට අනුගතව ලංකා බැංකු තොරතුරු තාක්ෂණ විසඳුම් (පුද්ගලික) සමාගම (BOC IT Solutions (Pvt) Ltd.) නමින් ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් ලෙස පිහිටුවීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ප්‍රතිව්‍යූහගත කිරීම
- 1997 අංක 7 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු පනත යට‌‌‌තේ සංස්ථාගත කර ඇති ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කර ඇති බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වේ. නිවාස සඳහා අරමුදල් සැපයීම සහ ඊට අදාළ අනෙකුත් සේවා සැපයීම එහි මූලික අරමුණ වේ. 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු නීතිය යටතේ ස්ථාපිත කර ඇති රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව පූර්ණ වශයෙන් රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන අතර, එමඟින් නිවාස සම්බන්ධිත උකස් ණය පහසුකම් සපයනු ලැබේ. මෙම බැංකු ද්විත්වයම කුඩා වෙළෙඳපොළ කොටසක් සහිත සාපේක්ෂව කුඩා මූල්‍ය ආයතනයන් වේ. තැන්පතු රැස් කිරීමේ සීමිත ධාරිතාව, දුර්වල ලාභදායීත්වය, අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා සපුරාලීමට ඇති නොහැකියාව හේතුවෙන් එකී බැංකුවල වත්මන් ව්‍යාපාර ආකෘති තිරසර නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙන්වා දී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවමින්, සමස්ත බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම සහ තැන්පත්කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම යන අරමුණු සහිතව, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ රජය සතු සියලු කොටස් හිමිකම ලංකා බැංකුව වෙත අත්පත් කරගෙන ලංකා බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමටත්, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සියලු කොටස් මහජන බැංකුව වෙත අත්පත් කරගෙන එම බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමටත් හැකි වන පරිදි අදාළ බැංකු විසින් අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම
- ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව, ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර්සම්බන්ධීකරණය තුළින් Transit Cities සහ එම Transit Cities හි සිට ප්‍රධාන නගර වෙත කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සහිතව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, බස් රථ, දුම්රිය, කුළී රථ සේවා වැනි ප්‍රවාහන මාධ්‍ය අන්තර්සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණ සහිත ව දිවයිනේ වැඩිම මගී සංසරණයක් සිදු වන බවට හඳුනාගෙන ඇති බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට යටත්ව, ප්‍රමුඛතා පදනම මත පහත සඳහන් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ලෝක බැංකු මූල්‍යකරණය යටතේ දැනට ඉදිකිරීම කටයුතු ආරම්භ කර ඇත).
අනුරාධපුර (දක්ෂිණ) බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිම කිරීමට ආසන්න ව ඇත).
අනුරාධපුර (උතුර) බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ශක්‍යතා අධ්‍යයන සිදු කර මූලික කටයුතු අවසන් කර ඇත).
කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නාගරික ප්‍රවාහනය සම්බන්ධයෙන් සකස් කරනු ලැබ ඇති ComTrans Master Plan මඟින් යෝජනා කර ඇත).
මොරටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ComTrans Master Plan මඟින් යෝජනා කර ඇත).
රාගම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මඟින් හඳුනාගෙන ඇත).
අවිස්සාවේල්ල, ගාල්ල, කටුනායක, කුරුණෑගල බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලසුම් අනුව හඳුනාගෙන ඇත).
ගම්පහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලසුම් අනුව සහ කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ දුම්රිය විද්‍යුත්කරණය යටතේ හඳුනාගෙන ඇත).
කටුනායක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ගුවන්තොටුපොළ සංවර්ධන සැලැස්ම යටතේ හඳුනාගෙන ඇත).
කළුතර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ යෝජනාවක් පරිදි හඳුනාගෙන ඇත).
කන්කසන්තුරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලැස්ම යටතේ හඳුනාගෙන ඇත).

---
28 වන ඒකාබද්ධ ආසියා පැසිෆික් කලාපීය සමාජ වැඩමුළුව
- 2025 නොවැම්බර් මස 18 දින සිට 21 දින දක්වා 28 වන ඒකාබද්ධ ආසියා පැසිෆික් කලාපීය සමාජ වැඩමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එම සමුළුව සඳහා දේශීය නියෝජිතයින් 13දෙනෙකු සහ රටවල් 30කින් විදේශීය නියෝජිතයින් 104දෙනෙකු සහභාගි වීමට නියමිතව ඇත. ඒ අනුව, එකී සමුළුව මෙරටදී පැවැත්වීමටත්, එම සමුළුව පැවැත්වීම සඳහා අවශ්‍ය ආයතනික සහයෝගය ඇති කර ගැනීම පිණිස ජාතික සමාජ සංවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා සමාජ කාර්යයන්හි නියුතු වෘත්තීයවේදීන්ගේ සංගමය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විදාතා සම්පත් මධ්‍යස්ථාන සඳහා වන උපායමාර්ගික සැලැස්ම - 2026-2030 ක්‍රියාත්මක කිරීම
- විද්‍යාත්මක පර්යේෂණ හරහා ජනිත වන නව්‍ය තාක්ෂණික දැනුමෙන් ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින්, ‘ගමට තාක්ෂණය’ යන සංකල්පය යටතේ, විදාතා වැඩසටහන ආරම්භ කරනු ලැබ ඇති අතර, මේ වන විට රට පුරා විදාතා මධ්‍යස්ථාන 315ක් ක්‍රියාත්මක වේ. 2021‑2024 කාලය තුළ අඩු අවධානයක් යොමු ව තිබූ ‘ගමට තාක්ෂණය’ යන සංකල්පය සවිමත් පදනමක් යටතේ ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් විදාතා වැඩසටහන සඳහා පස් අවුරුදු උපායමාර්ගික සැලැස්ම - 2026-2030 සකස් කරනු ලැබ ඇත. එමෙන්ම, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි ආයතන සමඟ සහයෝගිතාවයෙන් විදාතා සම්පත් මධ්‍යස්ථාන ක්ෂුද්‍ර සේවා හා ආධාරක මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමේ මුලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අනුව, 2026‑2030 කාලසීමාව සඳහා විදාතා වැඩසටහන වෙනුවෙන් සකස් කරනු ලැබ ඇති පස් අවුරුදු උපායමාර්ගික වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, දිවයින පුරා පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථාන 315 සඳහා එක් විදාතා මධ්‍යස්ථානයක එක් විද්‍යා උපාධිධාරියෙකු බැගින් වන පරිදි සේවයේ යෙදවීමටත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර‍න ලදී.

පළාත් පාලන ආයතනවලට අයත් කුඩා පාලම් තිරසාර ලෙස වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- පළාත් සභා විසින් ඉදිරිපත් කරන ලද කුඩා පාලම් වැඩිදියුණු කිරීමේ යෝජනා පදනම් කර ගනිමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සියලුම පළාත් සභා හා පළාත් පාලන ආයතන සමඟ සම්බන්ධ වී ග්‍රාමීය ප්‍රවේශ යටිතල පහසුකම් පිළිබඳ පුළුල් අවශ්‍යතා තක්සේරුවක් සිදු කර තිබේ. කුඩා පාලම් විශාල සංඛ්‍යාවක් අබලන්, පටු, අනාරක්ෂිත හෝ විනාශ වී ඇති තත්ත්වයේ පවතින බවත්, ඒ හේතුවෙන් පාසල් ළමුන්, ගොවීන්, කාන්තාවන් ආදී කණ්ඩායම් විශේෂයෙන්  අවදානමට ලක් වී ඇති බවත් එම අවශ්‍යතා තක්සේරුව අනුව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ආරක්ෂිත ගමනාන්තයක් සහතික කිරීම, ප්‍රවාහන වියදම් අඩු කිරීම, වෙළෙඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම, ග්‍රාමීය නිෂ්පාදනයට පහසුකම් සැලසීම ආදී අරමුණු සහිත ව, ‘පළාත් පාලන ආයතනවල කුඩා පාලම් තිරසරව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පළාත් පාලන ආයතන 229ක බලසීමාවන්හි පවතින වැඩිදියුණු කළ යුතු පාලම් 880ක් ප්‍රමුඛතා පදනමින් තිරසරව වැඩිදියුණු කිරීම සඳහා, රුපියල් මිලියන 6,793.03ක් වූ ඇස්තමේන්තුගත මුළු පිරිවැයක් යටතේ, 2026 වසරේ සිට 2029 වසර දක්වා කාලය තුළ, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා බස්රථ, වෑන් රථ, ගලි බවුසර් සහ ට්‍රැක්ටර් ප්‍රසම්පාදනය
- ශ්‍රී ලංකාවේ විවිධ අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන සැකකරුවන් සහ දඬුවම් පමුණුවනු ලබන විත්තිකරුවන් සම්බන්ධයෙන් අධිකරණ සමඟ සෘජු ව සම්බන්ධ වෙමින් රාජකාරි ඉටු කිරීමේදී සහ එකී රැඳවියන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අදාළ රාජකාරි කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වාහන පහසුකම් සපයාගැනීමේ අවශ්‍යතාව මතු ව තිබේ. ඒ අනුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා ආසන 44 බස්රථ 30ක්, ආසන 30 බස්රථ 10ක්,  වෑන් රථ 10ක්, ගලි බවුසර් 05ක් සහ ට්‍රැක්ටර් 03ක් මිල දී ගැනීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවනු ලැබ ඇත. ඒ සඳහා ලංසුකරුවන් 08දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා වාහන මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය පහත සඳහන් පරිදි පිරිනැමීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

අයිතමය    ප්‍රමාණය    සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද ලංසුකරුගේ නම
බස්රථ
(ආසන 44)    30    Lanka Ashok Leyland (PLC)
බස්රථ
(ආසන 30)    10    Lanka Ashok Leyland (PLC)
වෑන් රථ    10    Toyota Lanka Pvt Ltd
ගලි බවුසර්    05    Solex Technologies Pvt Ltd.
ට්‍රැක්ටර්    03    Browns & Co. PLC


යාපනය ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීම
- දිගුකාලීන සමාජීය ගැටුම් හා අභියෝගවලින් පසු යථා තත්ත්වයට පත් වෙමින් පවතින උතුරු පළාතේ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඉතා වැදගත් අවශ්‍යතාවක් බව හඳුනාගනු ලැබ තිබේ. ඒ සඳහා පාසල්වල සහ ක්‍රීඩා සමාජවල මේස පන්දු, ටෙනිස්, බැඩ්මින්ටන්, නෙට්බෝල් සහ චෙස් වැනි ගෘහස්ථ ක්‍රීඩාවන් සංවර්ධනය කිරීමේ අරමුණින් යාපනය දිස්ත්‍රික්කයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, රුපියල් මිලියන 170ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ අදාළ පහසුකම් සහිතව යාපනය ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළොන්නාව නිමාවේ අංක 30 සහ 31 දරන ඉන්ධන ගබඩා ටැංකි ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රසම්පාදනය
- ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් ඕනෑම අවස්ථාවක භාවිත කළ හැකි වන පරිදි අවම වශයෙන් දින 45කට ප්‍රමාණවත් ඛනිජ තෙල් නිෂ්පාදන තොගයක් පවත්වා ගෙන යාමට සැලසුම් කරනු ලැබ ඇත. එකී අවශ්‍යතාව සපුරාලීම සඳහා එම සමාගමේ කොළොන්නාව නිමාවේ ඝන මීටර 64,000ක ධාරිතාවකින් යුත් නව ටැංකි 6ක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, මුතුරාජවෙල පර්යන්තයේ ඝන මීටර 40,000ක ධාරිතාවයකින් යුත් නව ටැංකි 3ක් ඉදිකිරීම සඳහා වන ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරනු ලැබ තිබේ. ඊට අමතරව, කොළොන්නාව නිමාවෙහි දැනට පවතින අංක 30 සහ 31 දරන ටැංකි පිළිවෙලින් ඝන මීටර 7,000ක සහ ඝන මීටර 15,000ක ධාරිතාවයෙන් යුත් නව ටැංකි මඟින් ප්‍රතිස්ථාපනය කිරීමට ද සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, ඛනිජ තෙල් නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුම සහතික කිරීම සඳහා අංක 30 සහ 31 දරන ඉන්ධන ගබඩා නව ටැංකි මඟින් ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, එකී කාර්යය සඳහා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් උපයෝගී කර ගනිමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක් හඳුන්වා දීම
- ව්‍යවසායයන් සහ දේපල ඇතුළු පුද්ගලික දේපල අත්තනෝමතික ලෙස ජනසතු කිරීම වැළැක්වීම, ඵලදායී විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් ලෙස ආයෝජන ආරක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කිරීම සහ ආයෝජකයින් සඳහා ප්‍රතිපත්ති ස්ථාවරත්වය සහ පුරෝකථනය කිරීමේ හැකියාව සහතික කිරීම යන අරමුණු ළඟා කරගැනීම පිණිස නව පනතක් හඳුන්වා දීම 2025 අයවැය මඟින් යෝජනා කරන ලදී. ඒ අනුව, පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් පිළියෙල කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීම
- ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා මේ වන විට දශක පහක පමණ කාලයක් ගත වී ඇති අතර එකී කාලසීමාව තුළ සිනමා කර්මාන්තයට අදාළ තාක්ෂණය වෙනස් වීම මෙන්ම, සමාජ, දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රයන්හි ද විශාල වෙනස්කම් සිදුව ඇත. වර්තමානයට ගැලපෙන අයුරින් ජාතික චිත්‍රපට සංස්ථාවේ ආයතන ව්‍යූහය හා කාර්යභාරය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ජාතික චිත්‍රපට සංස්ථා පනත මඟින් ආවරණය නොවන ක්ෂේත්‍ර සම්බන්ධව උපායමාර්ගික දිශානතියක් ඇති කිරීමේ අරමුණින් සහ සිනමා නියාමනය හා සිනමා සංස්කෘතිය ප්‍රවර්ධනය යන කාර්යයන් සිදු කළ හැකි වන පරිදි ස්ථාපිත කිරීමට යෝජිත ශ්‍රී ලංකා ජාතික සිනමා කවුන්සිලයේ ව්‍යූහය හා කාර්යභාරය සම්බන්ධයෙන් මූලික කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, 1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර, ශ්‍රී ලංකා ජාතික සිනමා කවුන්සිලය ස්ථාපිත කිරීම සඳහා ද විධිවිධාන ඇතුළත්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධන කිරීම
- 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා 2025‑06‑16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට යෝජිත සංශෝධන අනුව, පීඨාධිපති තනතුරකට පත් කිරීම සඳහා වන සුදුසුකම්වලට අදාළ නිර්ණායක පුළුල් කිරීම මඟින් කුසලතා මත පදනම් වූ තේරීම් ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනු ඇත. මෙම යෝජිත සංශෝධන මඟින් විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධාන අධ්‍යයන පරිපාලන තනතුරු සඳහා සුදුසුකම්ලත් අපේක්ෂකයන්ගේ සංචිතය පුළුල් කිරීමටත්, එමඟින් ආයතනික පාලනය ශක්තිමත් කිරීමටත් විධිවිධාන සලසනු ලබයි. ඒ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාවේ වාරිමාර්ග අංශයට නව ප්‍රවේශයක් ලෙස, වාරි ජලය නළ මාර්ග මඟින් බෙදා හැරීමේ පද්ධති හඳුන්වා දීම පිණිස වන නියමු ආදර්ශ ආකෘති ක්‍රියාත්මක කිරීම
- දිගුකාලීනව පවතින නියඟ හේතුවෙන් බෝග අස්වනු ප්‍රමාණය අඛණ්ඩව පහත වැටීම සහ ඉහළ යන වර්ෂාපතන තීව්‍රතාවයේ ප්‍රතිඵලයක් ලෙස පස්වලින් සාදන ලද ඇළ මාර්ග පද්ධති පරිහානියට පත් වීම, ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ කුඩා ඉඩම් හිමි වගාකරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග දෙකක් ලෙස හඳුනාගෙන ඇත. එබැවින්, එම අභියෝගයන්ට විසඳුමක් ලෙස අඩු ප්‍රවාහන ක්ෂමතාවකින් ක්‍රියාත්මක වන විවෘත ඇළ මාර්ග වෙනුවට වාරි ජලය නළ මාර්ග මඟින් බෙදා හැරීමේ පද්ධති හඳුන්වා දීමට යෝජනා වී තිබේ. ඒ අනුව, ඒ සඳහා සවිස්තරාත්මක තාක්ෂණික අධ්‍යයනයක් වශයෙන් හෙක්ටයාර් 877ක පමණ වගා බිම් ප්‍රමාණයක් ආවරණය කරමින්, වෙනස් වූ නළ ජල වාරිමාර්ග ආකෘතීන් 03 ක් යටතේ, ආදර්ශ වශයෙන් පෙන්වා දීම පිණිස නියමු ව්‍යාපෘති 04 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. නළ මාර්ග මඟින් වාරි ජලය බෙදාහැරීමේ පද්ධති යොදා ගැනීම හරහා සාම්ප්‍රදායික විවෘත ඇළ මාර්ග පද්ධතීන් තුළ සිදු වන වාරි ජල අපතේ යාම අඩු කිරීම, ජල හිඟයෙන් පීඩා විඳින ගොවීන්ට සහනයක් ලබා දීම, ඉහළ වටිනාකමක් ඇති ආහාර බෝග වගාව වෙත කුඩා ඉඩම් හිමි වගාකරුවන් යොමු කිරීම, කෘෂිකර්මාන්තයේ කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීම ආදී අරමුණු ළඟා කර ගැනීමට අපේක්ෂා කර තිබේ. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ සංවර්ධනය වෙමින් පවතින සා‍මාජික රටවල් උදෙසා Japan Foundation for Prosperous and Resilient Asia and the Pacific (JFPR) සහ ආසියානු සංවර්ධන බැංකුව වෙතින් සපයනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 3.3ක ප්‍රදානයක් මඟින් සලසා දෙනු ලබන අරමුදල් සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.68ක් යොදා ගනිමින් නියමු ආදර්ශ ආකෘති 03ක් වයඹ පළාත තුළත්, තවත් එක් නියමු ආදර්ශ ආකෘතියක් ඌව පළාත තුළත් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වෙනත් ලිපි