2026 අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අදින් ආරම්භ වේ

2026 අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට ලබන 14 දක්වා දින 6ක් පැවැත්වේ..

by Staff writer 08-11-2025 | 7:28 AM

COLOMBO (News 1st) - ඒ අනුව දෙවැනි වර කියැවීමේ විවාදය අද සිට ලබන 14 දක්වා දින 6ක් පැවැත්වීමට නියමිතය.

අනතුරුව නොවැම්බර් 14 වැනිදා පස්වරු 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

මේ අතර 2026 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට ‍දෙසැම්බර් 5 දක්වා පැවැත්වේ.

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6.00ට පැවැත්වෙනු ඇත.

2026 වසර සඳහා වන අයවැය, ඊයේ (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කළ මෙවර අයවැයේදී දිළිඳු බව තුරන් කිරිම , ඩිජිටල්කරණය ප්‍රවර්ධනය , ආයෝජන හිතකාමි පරිසරයක් නිර්මාණය කිරිම , සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය අධ්‍යාපනය , අබාධ සහිත ප්‍රජාවට පහසුකම් සැලසීම ඇතුළු ශීර්ෂ 34 ක් යටතේ යෝජනා ඉදිරිපත් කර තිබුණි.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිමේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරිම සඳහා මෙවර අයවැයෙන් වෙන් කළ මුදල රුපියල් බිලියන 110 ක්.

විශ්‍රාම වැටුප් ඉහළ නැංවීමට ද ප්‍රතිපාදන වෙන් කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ගොවීන්ට ණය ලබා දීම සඳහා නව අරමුදලක් පිහිටුවීමට 2026 අය වැයෙන් යෝජනා කෙරුණි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයින්ට සහන පොලී යටතේ රුපියල් මිලියන 50 දක්වා ණය ලබා දීමට මුදල් වෙන් කර ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

අභ්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනයට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1000ක්.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරිමේ ව්‍යාපෘතිය යළි ඇරඹීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කරන ලදි.