ප්‍රදීප් නිලංග යළි දියවඩන නිලමේ ලෙස පත්වෙයි..

ශ්‍රී දළදා මාළිගාවේ 19 වන දියවඩන නිලමේ වශයෙන් ප්‍රදීප් නීලංග දෑල යළි තේරී පත් වෙයි..

by Staff writer 07-11-2025 | 5:40 PM

COLOMBO (News 1st) - මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ 19 වන දියවඩන නිලමේ වශයෙන් ප්‍රදීප් නිලංග දෑල මහතා අද යළි තේරී පත් විය.

ඒ , අද පස්වරුවේ පැවති ඡන්ද විමසීමේදී ය.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්  මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී ඡන්ද විමසීම පැවැත්විණ.

එහිදි දියවඩන නිලමේ තනතුර සඳහා තුන්දෙනෙකුගේ නම් යෝජනා විය.

ඒ අනුව ප්‍රදීප් නිලංග දෑල මහතා යළිත්  දියවඩන නිලමේ ධුරයට තේරි පත් වුණේ ඡන්ද  195ක් ලබා ගනිමින් ය.

මහනුවර කතරගම මහා දේවාලයේ හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා ද නිලවරණයට ඉදිරිපත් විය.

ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 50 කි.  

මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලයේ ප්‍රධාන භාරකරු වන ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක මහතා ද දියවඩන නිලමේ ධුරය සඳහා තරඟ වැදුණේ ය.  

ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 13කි.  

දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේදි මහා සංඝරත්නය ඇතුළු 267ක පමණ පිරිසක් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා සිටියේ ය.

ප්‍රදීප් නිලංග දෑල මහතා 2005 වසරේ සිට අඛණ්ඩව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස කටයුතු කරයි.

ඔහු යළිත් එම ධුරය සඳහා තේරි පත්වුණේ තුන්වැනි වරටයි.

ඒ අනුව 2035 දක්වා ප්‍රදීප් නිලංග දෑල මහතා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස කටයුතු කරනු ඇති.