අයවැයෙන් මහපොළ හා ශිෂ්‍යාධාර දීමනාව රු. 2500කින් ඉහළට

by Staff writer 07-11-2025 | 3:48 PM

COLOMBO (News 1st) - 2026 අයවැය තුළින් විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර දීමනාව රු. 2500කින් සහ අධ්‍යාපන විද්‍යාපීඨ සිසු මාසික දීමනාව රු, 2500කින් ඉහළට.
වෘත්තීය අධ්‍යාපනය ඉහළ නැංවීමට රු. මිලියන 8000ක් වෙන් කරයි.විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනාව අපගේ පළ අයවැයේදීම රුපියල් 2,500 කින් වැඩි කරන ලදි. 2026 වසරේ දී ද ඉහළ යන ජීවන වියදමට සරිලන පරිදි, විශ්වවිද්‍යාල සිසුන් සඳහා මාසික මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා රුපියල් 2,500කින් වැඩි කිරීමට යෝජනා කරයි. ඒ අනුව මාසික මහපොළ දීමනාව රුපියල් 10,000ක් දක්වාත් ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9,000 ක් දක්වාත් ඉහළ නංවයි. මෙයට සමගාමීව “නිපුණතා සිසු දිරිය දීමනාව” ද රුපියල් 2,500කින් වැඩි කෙරේ. ආබාධ සහිත දරුවන් උසස් අධ්‍යාපනයට යොමුවන්නේ ඉතාමත් අඩු ප්‍රතිශතයක්. ඔවුන් ද එම අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබනුයේ ආබාධ සහිත දරුවන් සඳහා සුවිශේෂ පහසුකම් ඉතා අඩු මට්ටමක පවතින පරිසරයක් තුලයි. එබැවින්, උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ආබාධ සහිත ශිෂ්‍යයින් දිරි ගැන්වීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල ශිෂ්‍යයින් සඳහා රුපියල් 5,000/- ක දීමනාවක් මාසිකව ලබා දීමට රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට යෝජනා කරයි.

වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිකොට, නිසි ගරුත්වයක් සහිත රැකියා අවස්ථා සුලබ කිරීම ක්‍රියාත්මක වීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අපේක්ෂා කරයි. ඒ අනුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පහසුකම් වැඩි දියුණු කිරීම, විෂය පාඨමාලා නවීකරණය කිරීම, ගුරුවරුන් හා උපදේශකයන් පුහුණු කිරීම වැනි කාර්යයන් අඛණ්ඩව සිදු කරනු ඇත. වෘත්තීය අධ්‍යාපන හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 9ක්, විශිෂ්ටතා මධ්‍යස්ථාන (Center of Excellence) ලෙස වැඩි දියුණු කිරීම හා දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන 50ක් වැඩි දියුණු කිරීම 2026 වසරේ ආරම්භ කරයි. ඒ සඳහා රුපියල් මිලියන 2,000ක් ඇතුළුව සමස්ත වෘත්තීය පුහුණු අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් රුපියල් මිලියන 8,000ක් වෙන් කර ඇත.