චරිත රත්වත්තට අධිකරණයෙන් ඇප

චරිත රත්වත්තට අධිකරණයෙන් ඇප

by Staff writer 04-11-2025 | 8:53 PM

COLOMBO(News1st) -

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් චරිත රත්වත්ත ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද(04) නියෝග කළේ ය.

සැකකරු ඇප නියම කෙරුනේ, රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2ක් මතයි.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළේ ය.

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් චරිත රත්වත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද(04) පෙරවරුවේ  අත්අඩංගුවට ගැණුනි.

ඒ 2015 වසරේදී නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව හා කිසිදු අවශ්‍යතාවකින් තොරව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රුපියල් කෝටි 09 කට අධික මුදලක් වැය කර,  තාවකාලික වී ගබඩා 50 ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන්.

අත්අඩංගුවට ගත් සැකකරු පස්වරු 2.45ට පමණ අධිකරණයට ඉදිරිපත් කළ අතර පස්වරු 3.15ට අධිකරණ පරිශ්‍රයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිලමැදිරියේ කැඳවා තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධව කරුණු දක්වමින් අල්ලස් කොමිසමේ විමර්ශන නිළධාරීන් කියා සිටියේ, සැකකරු 2015 වර්ෂයේදී අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී අනුගමනය කළ යුතු නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් ඔහු විසින් නම් කළ පුද්ගලික ආයතනයකින් සංස්ථාව වෙත කිසිදු අවශ්‍යතාවයක් නොමැති තාවකාලික වී ගබඩා 50ක් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවයි.

එම ක්‍රියාව තුළින් රජයට රුපියල් නම කෝටි අනූ හය ලක්ෂ හැත්තෑ නම දහස් 799 යි ශත.70 ක පාඩුවක් සිදු වී ඇති බවත්  භාණ්ඩ ගෙන් වූ අදාල පුද්ගලික සමාගමට භාහිර වාසියක් සලසාදීමට සැකකරු කටයුතු කර ඇති බවද විමර්ශන නිළධාරීන් අධිකරණයට දන්වා තිබේ.

සැකකරු එලෙස කටයුතු කිරීමෙන් දූෂණය නම් වරද සිද කර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස  විමර්ශන නිළධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ඇප ඉල්ලීමක් සිදුකළ අතර කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා චරිත රත්වත්තේ ඇප මත මුදා හැරිමට නියෝග කළේ ය.

මෙම සිද්ධියට අදාළව පසුගිය සිකුරාදා දින අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා මහතා ද ඇප මත මුදා හැරුණි.