විපක්ෂයේ මන්ත්‍රිවරු 20ක් ආරක්ෂාවට ගිනි අවි ඉල්ලයි

විපක්ෂයේ මන්ත්‍රිවරු 20ක් ආරක්ෂාවට ගිනි අවි ඉල්ලයි....

by Staff writer 01-11-2025 | 6:19 PM

COLOMBO (News 1st) - ආරක්ෂාව සඳහා පිස්තෝල ගිනි අවි ලබා දෙන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 කට වැඩි පිරිසක් පාර්ලිමේන්තු මහලේකම්වරියට ලිපි භාරදී තිබේ.

ඒ , විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකවරයා මාර්ගයෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ පසුබිමකදී ය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ජගත් විතාන මහතාට ජීවිත තර්ජන ඇතැයි පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය ඇතුළු සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගිය දින කිහිපයේම ඔවුන්ට ආරක්ෂාව ඉල්ලා සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වුණේ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ය.

එහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ, තම දේශපාලන කටයුතු බාධාවකින් තොරව ආරක්ෂිත පරිසරයක් තුළ පවත්වාගෙන යාමට සියලු විපක්ෂ මන්ත්‍රීවරුන්ට, ප්‍රථමයෙන් ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙසයි.

පසුව තර්ජන පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඔවුන් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කථානායකවරයා ප්‍රකාශ කළේ , මේවන විටත් ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ගේ සියලු ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණ ද, ඉන් ඔබ්බට ගොස් අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් කටයුතු කර ඇති බවත් ඒ අනුව ඇතැම් මන්ත්‍රීවරුන්ට ආරක්ෂ‍ාව ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත් කථානායකවරයා පෙන්වා දී තිබේ.

ඒ අනුව කථානායකවරයා සහ පොලිස්පතිවරයා තිරණය කළේ , ආරක්ෂාව ඉල්ලා ඇති විපක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා සහ සාමාන්‍ය තර්ජන තක්සේරු වාර්තා කැඳවීමටයි.

අදාළ වාර්තාවලින් අනාවරණය වන තොරතුරු මත, අවශ්‍යතාවක් ඇති වුවහොත්, ඒ ඒ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සැපයීමට පියවර ගනු ඇති.

ඊයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වුණේ , ආරක්ෂාව ඉල්ලා සිටින විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට තර්ජන ඇත්තේ සිය පාක්ෂිකයින්ගෙන්ම බවයි.

ඒ සම්බන්ධයෙන් ද, වෙනම විමර්ශන ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 කට වැඩි පිරිසක් ආරක්ෂාව සඳහා පිස්තෝල ගිනි අවි ලබාදෙන්නැයි කළ ඉල්ලීම්  ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමුකල බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සඳහන් කළේ ය.

ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සමාලෝචනයකින් අනතුරුව ඉදිරි පියවර ගනු ඇති.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු තම ආරක්ෂාව සඳහා ගිනි අවි ලබා දෙන්නැයි ඉල්ලීමක් කර නැහැ.