ප්‍රදේශ කිහිපයකට පැ.කි.මී.40-50ක තද සුළං

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝ මීටර් 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 25-10-2025 | 7:44 AM

COLOMBO (News 1st) - පවතින අධික වර්ෂාවත් සමග කළු ගඟේ ජල මට්ටම රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවලින් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව කළු ගඟ දෙපස ජනතාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසය.

මේ අතර දිස්ත්‍රික්ක 10 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ගාල්ල , මහනුවර , කෑගල්ල , රත්නපුර , කොළඹ , කළුතර , කුරුණෑගල , මාතලේ , මාතර , සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ රැසකට නායයාමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ ය.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදි.

මේ අතර ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම අඩු පීඩන කලාපය අද දිනයේදී ගිනිකොණ දිග සහ ඊට යාබද මධ්‍යම-බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බවය.

හෙට දිනය වන විට එය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා සහ අනිද්දා දිනයේ සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව, මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසය.

මේ අතර අද උදෑසන 06න් අවසන් වූ ගෙවුනු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කලුතර නෑබඩ ප්‍රෙද්ශයෙන් වාර්තා වුණි.

එම අගය මිලිමීටර් 106ක්.

බණ්ඩාරගමට මිලිමීටර් 85ක සහ මෝල්කාවට මිලිමීටර් 70ක වර්ෂාපතනයක් ඇඳහැලුණු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.